වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් ඉහළට!

වෙළෙඳපොලේ බිත්තර මිල යළිත් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.

ඉකුත් සතියේ රුපියල් 26 කට අලෙවි කරන ලද බිත්තරයක මිල මේ සතියේදී රුපියල් 32ක් දක්වා වැඩිවී ඇත.

බිත්තර මිල අඩුවීමත් සමග බිත්තර ඉල්ලුම ඉහළ යාමත්, වෙළෙඳුන් ගොවිපොළවලටම ගොස් බිත්තර තොග විශාල වශයෙන් රැස් කිරීම නිසා මෙලෙස යළි බිත්තර මිල ගණන් ඉහළ ගොස් ඇතැයි කුකුළු ගොවිපොල හිමියෝ කියා සිටිති.

රටේ දෛනික බිත්තර පාරිභෝජනය ලක්ෂ 80ක් වන අතර, ඉකුත් සතියේ බිත්තර මිල අඩුවීමත් සමග බිත්තර පාරිභෝජනයද දෛනික බිත්තර පාරිභෝජනය ලක්ෂ 95ක් දක්වා වැඩිවී ඇත.

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකරගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ රුපියල් 22කට තොග මිලකට ගොවිපොලෙන් මිලදී ගත් බිත්තර මෙලෙස වැඩි මිලකට අලෙවි කෙරෙන බවය.

දැනට සති දෙකකට පමණ ඉහතදී බිත්තර මිල ඉහළ යාමත් සමග බිත්තර අලෙවිය අඩුවීම නිසා ගොවිපොළවලින් බිත්තරයක් රුපියල් 22 සිට තොග වෙළෙඳුන්ට නිකුත් කළ බවත්, මේ තත්ත්වය නිසා බිත්තරය සිල්ලර මිල රුපියල් 25ත් 30ත් අතර මිලක් දක්වා අඩුවූ බවත්, බිත්තර තොග මිල පහත වැටීමත් සමග තොග වෙළෙඳුන් පමණක් නොව සිල්ලර වෙළෙදුන් පවා ගොවිපොලට ගොස් රුපියල් 22 බැගින් බිත්තර මිලදී ගෙන වෙළෙදාම් කළ බවත් ඔහු කීවේය.

මෙලෙස විශාල වශයෙන් බිත්තර මිලදී ගැනීම නිසා මේ වනවිට ගොවිපොළවල බිත්තර හිඟයක් පවතින බවද සභාපතිවරයා පැවැසීය.

ගොවිපොළෙන් බිත්තරයක් නිකුත් කළ දිනයේ සිට දින 16 ක කාලයක් තබා ගැනීමේ හැකියාව පවතින බවද ඔහු පැවැසීය.

තව සති දෙකකින් පමණ බිත්තර මිල සාමාන්‍ය තත්ත්වයට පත්වෙනු ඇතැයි ද සභාපතිවරයා කීවේය.

එළවළු මිල පහත වැටීමත් සමග බිත්තර පාරිභෝජනය අඩුවන බව ද ඔහු කීවේය.

දේශීය බිත්තර සතොස හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරා සමග පැවැති සාකච්ඡාවකදී දැනුම් දුන් බවත්, බිත්තර සඳහා පාලන මිලක් නොදමන බවට එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටි බවත් සභාපතිවරයා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *