‘රේල්ලුවේ සන්නිවේදන පද්ධතියට දැමූ කෝටි 190ක් වතුරේ’

දුම්රිය විදුලි සන්දේශ පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ නවීන දුම්රිය සන්නිවේදන පද්ධතිය සඳහා රුපියල් මිලියන 1,901ක මුදලක් වැය කර ඇතත් ව්‍යාපෘතියේ ප්‍රායෝගික භාවිතය අසාර්ථක වීම හා අරමුණු ඉටු නොවීම හේතුවෙන් වැය කළ මුදල් පල රහිත වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

දුම්රිය එන්ජින්වල සන්නිවේදන උපකරණ සවිකිරීම සඳහා රුපියල් මිලියන 274ක මුදලක් වැයකොට ඇතත් මෙම උපකරණ භාවිත කරමින් දුම්රිය රියැදුරන් පද්ධතියට ප්‍රවේශ නොවන බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙකී ව්‍යාපෘතිය යටතේ මෙහෙයුම් රාජකාරිවල නිරත වූ නිලධාරීන්ට ජංගම දුරකතන ලබා දීම සඳහා රුපියල් මිලියන132ක මුදලක් වැයකොට තිබිණි.

එහෙත් රාජකාරි කටයුතු සඳහා මෙම උපකරණ භාවිත නොකිරීම නිසා මෙකී උපකරණවල ක්‍රියාකාරී භාවිතය අවම මට්ටමක පැවැතිණි.

දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථාන සඳහා රුපියල් 61,457,916 වැයකොට සපයනු ලැබූ පද්ධති නිරීක්ෂණ උපකරණ හා හඬ පටිගත කිරීමේ උපකරණ සඳහා දුම්රිය රියැදුරන් පද්ධතියට ප්‍රවේශ නොවීම හේතුවෙන් භාවිතයට ගෙන නොතිබුණු බව ද එහි සඳහන් වේ.

එමෙන් ම, මෙකී ව්‍යාපෘතිය යටතේ දුම්රිය ස්ථානවල, පාලක මධ්‍යස්ථානවල, සංඥා කුටිවල, දුම්රිය ගේට්ටුවල රුපියල් මිලියන 72ක් වටිනා ස්ථාවර දුරකතන හා උපකරණ සවිකොට තිබිණි. තාක්ෂණික ‍දෝෂ හා මෙහෙයුම් දුර්වලතා හේතුවෙන් එකී උපකරණ සක්‍රියව භාවිත කිරීම අවම තත්ත්වයේ පැවැතිණි.

මෙකී උපකරණ භාවිත නොකිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කර ඇති බව මෙකී ව්‍යාපෘතියේ කළමනාකාරිත්වය විගණනයට සඳහන් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *