ලෝක නිදහස් මාධ්‍ය දිනය අද

ලොව පුරා මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෝක නිදහස් මාධ්‍ය දිනය අදට (03) යෙදී තිබේ.

1991 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය මුල්වරට ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර එයින් අනතුරුව 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ලෝක නිදහස් මාධ්‍ය දිනය ලෙස මැයි මස 03 වැනි දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

එතැන් සිට ලෝකයේ එක් එක් රටවල් මෙම දිනය සැමරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධාන කරන අතර විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වැනි වගන්තියට අනුව මිනිසාට තොරතුරු ලබා ගැනීමට, තොරතුරු ප්‍රකාශ කිරීමට ඇති මානව හිමිකම යන අදහස ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර 31 වැනි නිදහස් මාධ්‍ය දිනය සමරන අතර 1986 වසරේ දෙසැම්බර් 17 වැනිදා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ කොලොම්බියානු මාධ්‍යවේදී ගිලෙමො කානෝ අනුස්මරණය කිරීම වෙනුවෙන් මේ දිනය වෙන්කර ඇත.

ඉකුත් දස වසර තුළ ලොව පුරා මාධ්‍යවේදීන් 929 දෙනකු ඝාතනය කර ඇති බවට වාර්තා වන අතර මාධ්‍යවේදීන්ට අනතුරුදායකම රට ඉරාකය වේ. දෙවැන්න සිරියාවයි.

රටවල් 180ක් ඇසුරින් සැකසෙන ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ පළමු තැන පසුගිය වසරේ දී හිමිවූයේ නොර්වේ රාජ්‍යයටයි. 2023 වසරේ දී ශ්‍රී ලංකාවට හිමිවූයේ ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ 135 වැනි ස්ථානයයි.

අවසන් ස්ථානය උතුරු කොරියාවට හිමිව ඇත. 

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 2020 වසරේ සිට මේ දක්වා මාධ්‍යවේදීන් 200කට වැඩි පිරිසකට සිය ජීවිත අහිමි වී ඇත.

පසුගිය වසරේ පමණක්, රටවල් 33 ක ලේඛකයින් 339 දෙනෙකු සිරගත කර ඇති අතර එය වසරක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම සංඛ්‍යාවයද වේ.‍

එමෙන්ම මාධ්‍යවේදීන් 71 දෙනෙකු ඝාතනය විය.

මැයි 3 වන දින ලෝක මාධ්‍ය නිදහස දිනය සැමරීම සඳහා ප්‍රකාශයක් නිකුත් කරමින්, යුරෝපා කවුන්සිලයේ මහලේකම් මරීජා පෙජිනොවිච් බුරික් මෙසේ පැවසීය “යුරෝපයේ සහ අනෙකුත් මහාද්වීපවල මිලියන සංඛ්‍යාත පුරවැසියන් 2024 දී තීරණාත්මක මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කරන බැවින්, මාධ්‍යවේදීන් සතු ගුණාත්මක සහ තීරණාත්මක කාර්යභාරය අපි සිහිපත් කළ යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කිරීමේදී ගුණාත්මක මාධ්‍ය භාවිතාවක් ඉතාමත් වැදගත් කාර්‍යභාරයක් සිදුකරනවා.

“නිදහස් හා ස්වාධීන මාධ්‍ය සහ මාධ්‍යවේදීන් නොමැතිව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකියි.  එමෙන්ම මාධ්‍යෙව්දීන්ට ප්‍රජාතන්ත්‍රවාදී කාර්යභාරයක් ඉටු කිරීමට නම්, ඔවුන්ට ආරක්ෂිත පරිසරයක වැඩ කිරීමට හැකි විය යුතුයි.

මෙවර ලෝක නිදහස් මාධ්‍ය දිනය පරිසර, දේශගුණික අර්බුදය හමුවේ මාධ්‍යවේදියාගේ අවධානය වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු වසරක් ලෙස හඳුනාගෙන ඇත.    

විශේෂයෙන්ම නීති විරෝධී පාරිසරික ක්‍රියාකාරකම්වල නියැලී සිටින පුද්ගලයින්ගේ  හෙළිදරව් කරන පරිසර හිතකාමී පාරිසරික මාධ්‍යවේදීන්ව ආරක්ෂා කිරීමට වෙනුවෙන් ඔවුන්ගේ ආයතන සහ රටවල් වශයෙන් කැපවිය යුතු බව මාධ්‍ය නිදහස උදෙසා ක්‍රියාකාරී සංවිධාන පෙන්වාදී ඇත. 

පාරිසරික ගැටළු ආවරණය කිරීම සඳහා පුළුල් මාධ්‍ය අවකාශයක් වෙන්කළ යුතු බවද ඔවුන්ගේ අදහස වී ඇත.

යුනෙස්කෝව නීතිවිරෝධී වන විනාශය, ජල දූෂණය, දේශගුණික විපර්යාස, සහ තවත් බොහෝ දේ පිළිබඳ සත්‍යය හෙළි කරන පාරිසරික මාධ්‍යවේදීන්ට විශේෂ ගෞරවයක් පුද කර සිටියි. 

විශේෂයෙන්ම ප්‍රජාවන්ට දේශගුණික විපර්යාසවල බලපෑම සහ ඒ වටා ඇති නිවැරදි තොරතුරු  ලබාදීමෙන් තිරසාර අනාගතයක් සහතික කිරීම සඳහා වූ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව යුනෙස්කෝව වැඩිදුරටත් පෙන්වාදෙයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *