Online ජනමතය නොසලකා සිටිය හැකිද?

පැවැත්වෙන්න නියමිත 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පුරෝකථන වගේම එක එක විදිහේ සංගණනයන්, මත විමසීම් මේ දවස්වල දකින්න පුළුවන්. සමහරු පාරට බැහැලා මිනිස්සුන්ට මයික් එක දික්කරලා කාටද ඡන්දේ දෙන්නේ කියලා අහන විදිහේ සමීක්ෂණ. ඒ අතරේ ‘භාෂා ලංකා පුද්ගලික සමාගම‘, තමන්ගේ සිංහල භාෂා යෙදවුම ‘හෙළකුරු‘ හරහා සිදුකරන සමීක්ෂණය ගැන සමාජ මාධ්‍යවල එක එක කතාබහ ඇතිවෙනවා දැක්කා.

සාමාන්‍යයෙන් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර් තමේන්තුවේ ආසන්න දත්ත අනුව ලංකාවේ ජනතාවගෙන් සිංහල භාෂාව භාවිතා කරන ප්‍රමාණය ආසන්න වශයෙන් 80%ක් විතර කියලා. මේ පාර ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයෝ මිලියන 14.5ක් ඒ කියන්නේ ලක්ෂ 145ක් ඡන්දය ප්‍රකාශ කරාවි කියලා අනුමාන කරන්න පුළුවන්. දළ වශයෙන් ගත්තම ඡන්ද ලක්ෂ 116ක් විතර අයිතිවෙන්නේ සිංහල භාෂාව භාවිතා කරන පුද්ගලයන්ට.

ඡන්ද ලක්ෂ 145ක් 2024 ජනාධිපතිවරණයේදී ගන්න තීරණය හෝ මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහසක් ගන්න නම් අවම 385 දෙනෙක්වත් Sample එක විදිහට අරගෙන සමීක්ෂණයක් කරන්න වෙනවා (මගේ අවබෝධය අනුව). ඒත් මේ Sample Size එක වැඩිවෙන්න වැඩිවෙන්න වඩා හොඳ, නිරවද්‍ය පුරෝකථනයක් කරන්න පුළුවන් කියන එක තමයි පොදු මතය.
හෙළකුරු යෙදවුම මේ වෙද්දි මිලියන 10කට වැඩි පිරිසක් භාගත කරලා භාවිතයට අරගෙන තියනවා. මේ වෙද්දි ලංකාවේ ඉන්න ඡන්ද දායකයන්ගෙන් කී දෙනෙක් හෙළකුරු ඇප් එක පාවිච්චි කරනවද කියන එක ඇස්තමේන්තු කරන්න අමාරුයි.

ඒ වගේම හෙළකුරු ඇප් එක භාවිතයෙන් සමීක්ෂණයක් කරනවනම් ඒකේ තියන සීමා තේරුම්ගන්න ඕන. ලංකාවේ Smart Phone භාවිතා කරන ජන සංඛ්‍යාව වයස අවුරුදු 5-69 අතර ජනගහනයෙන් ආසන්න වශයෙන් 72%ක් විතර කියලා Global Digital Insight කියනවා, මෙතනින් වයස අවුරුදු 18ට වැඩි ඡන්ද දායකයෝ ගණන ආසන්න වශයෙන් 70%ක් විතර. ඒ කියන්නේ ලංකාවේ ඡන්ද දායකයෝ අතරින් 50%කට ආසන්න පිරිසක් විතරයි.

එතකොට දළ වශයෙන් මේ පාර ඡන්දය පලකරන පිරිස ලක්ෂ 145ක් නම්, ඒ අතරින් සිංහල භාෂාව භාවිතා කරන්නේ ලක්ෂ 116ක් විතර නම්, මේ ලක්ෂ 116න් smart phones භාවිතා කරන පිරිිස ආසන්න වශයෙන් ලක්ෂ 80ක් හරි 75ක් හරි කියලා දළ උපකල්පනයක් කළොත් සහ මේ අතරින් අවම සියයට 50% පිරිස තමන්ගේ ජංගම දුරකතනවල හෙළකුරු ඇප් එක දාගෙන ඉන්නවා කියන එක සලකලා බැලුවොත් ඒ ප්‍රමාණය ආසන්නව ලක්ෂ 37-40ත් අතර වෙන්න පුළුවන්.

එතකොට ලක්ෂ 145ක ජනතාවගේ මතය සම්බන්ධයෙන් විමසීමක් කරන්න ආසන්නව ලක්ෂ 37-40ත් අතර පිරිසකගේ මතය විමසීම නරකයි කියන්න බෑ. ඒ වගේම ඉස්සර වගේ Smart Phones සුඛෝපභෝගී භාණ්ඩයක් නෙවෙයි නිසා කම්කරු පන්තියේ සිට ඉහළ ව්‍යාපාරික පන්තිය දක්වාම මේ විදිහේ ජංගම දුරකතන පාවිච්චි කරනවා සහ ඔවුන් මේ සිංහල භාෂා යෙදවුම් භාවිතා කරනවා දකින්න පුළුවන්. ඒ නිසා සපේක්ෂව මේ මත විමසීම කරන්නේ Representative Sample එකකින් කියලා කියන්න පුළුවන්.

හෙළකුරු ඇප් එකෙන් කරන මතවිමසීම් මේ වෙද්දි සතියෙන් සතිය වගේ කරමින් ඉන්නවා. මේ සතියේ කරන ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය සම්බන්ධ මත විමසීමට මේ ලියන මොහොත වෙද්දි 13,612ක පිරිසක් මතය පලකරලා තියනවා. මෙතනදි තමන්ගේ දුරකතන අංකය ලබාදීලා, තහවුරු කරන්න වෙන නිසා එක පුද්ගලයෙක්ට අවස්ථා විශාල ගණනක් මත පලකරන්න තියන ඉඩකඩ ඇහිරෙනවා. එහෙම බලද්දි ලක්ෂ 37-40 අතර පිරිසකගේ මතය අනුමාන කරන්න 13,000කට වැඩි Sample Size එකක් කියන්නේ සැලකිය යුතු මට්ටමක සාම්පල් එකක් කියලා පිළීගන්න වෙනවා.
මේ මත විමසීමෙදි මේ වෙද්දි 86%ක් තමන්ගේ ඡන්දය පලකරන්නේ අනුර කුමාර දිසානායකට කියලා ප්‍රකාශ කරලා තියනවා, රනිල් වික්‍රමසිංහට 7%ක්, සජිත් ප්‍රේමදාසට 3.3%ක් සහ නාමල් රාජපක්ෂට 1.5%ක් තමන් ඡන්දය පලකරන බවට මත පලකරලා තියෙද්දි ඉතිරි අපේක්ෂකයන් අතරේ 2%ක ප්‍රමාණයක් බෙදිලා යනවා.
කාටහරි මේ මත විමසීම බලලා ‘ස්මාර් ට් පෝන් ජනාධිපති‘ වගේ පොඩි ජෝක් එකක් කරලා ‘මහ පොළවේ මතය ඕක නෙවෙයි‘ වගේ කතාවක් කියන්න පුළුවන්. ඒත් ඉතින් කල්පනා කරලා බැලුවම මහ පොළවේ ඉන්න මිනිස්සු තමයි ඉතින් මේ Smart Phone පාවිචිචි කරන, හෙළකුරු වගේ Language input යෙදවුම් භාවිතා කරන්නේ.
ඒ නිසා මේ මතය එහෙම ලෙහෙසියෙන් පැත්තකට කරලා මැතිවරණයේ ප්‍රතිඵලය දිහා බලන්න පුළුවන්ද කියලා ටිකක් කල්පනා කරලා බලන්න.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *