“ජනපති සමග රට හදන්න එකතු වෙනවා”

ළැඹෙන 2028 සිට විදෙස් ණය ගෙවීමට අදාළ අපනයන කේන්ද්‍රීය ආර්ථික වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතු බව හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ගම්පහදී ඊයේ (ඔක්. 14) පැවසීය.

ආර්ථිකය විශාල වන විට රටට ධනය හා විදේශ විනිමය ලැබෙන බව ත් ඒ ඔස්සේ ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බව ත් හිටපු විපක්ෂ නායකවරයා පැවසීය.

ආදායම් මාර්ග ශක්තිමත් කරමින් නව ව්‍යාපාර ආරම්භ කළ හැකි බව ත් එම පරිසරය නිර්මාණය කරන ප්‍රතිපත්ති මාලාවක් තිබෙන්නේ සමගි ජන බලවේගයට බව ත් සමගි ජන බලවේග නායකයා කීවේ ය.

ගම්පහ, කිරිඳිවැල පිහිටි හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේ පැවැති ජන හමුවකට එක්වෙමින් හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේග නායක මේ බව ඊයේ පැවසීය.

අපනයන කේන්ද්‍ර ආර්ථිකයක් ඇති කිරීම සඳහා දක්ෂ හා නිපුණතාව ඇති කණ්ඩායම සිටින්නේ කාටදැයි ජනතාව සිතිය යුතු බව ත් කර්මාන්තශාලා ආරම්භ කර 260,000කට ආසන්න ප්‍රමාණයක් වැසී ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ශක්තියක් විය හැක්කේ කාටදැයි ජනතාව සිතිය යුතු බව ත් ප්‍රේමදාස මහතා කීවේ ය.

මේ අනුව, ලබන 2028 සිට නැවත ණය ගෙවීම ආරම්භ කර බංකොලොත්භාවයෙන් ඉවත් වූ රටක් නිර්මාණය කළ හැකි බව ත් ජනතාව මුහුණ දෙන දුගී දුප්පත්කම, විරැකියාව, දුෂ්කර ජන ජීවිතය ආදී ගැටලුවලට විසඳුම් අවශ්‍ය බව ත් ඔහු කීය.

මේ වෙනුවෙන් සමගි ජන බලවේගය වර්තමාන ජනාධිපතිවරයා සමග එකතු වී රට හදන ගමනට එකතු වන බව හිටපු විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

සජබ මැතිවරණ අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතාගේ ගම්පහ නිවසේ පැවැති හමුවට සමගි ජන සන්ධාන පක්ෂ සභාපති ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

[mawbima]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *