අස්වැසුම දෙවන අදියර ඇරඹෙයි

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරේ අයදුම්පත් භාර ගැනීම මෙම මස 15 (ඊයේ) වැනිදා සිට ආරම්භ කල අතර ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු ජූලි මස සිට සිදු කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

අස්වැසුම දෙවැනි අදියර වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 205කි.

මෙම දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමට ඕනෑම තරාතිකරමක පුද්ගලයකුට අයදුම් කිරීමේ හැකියාව ඇතැයි ද ප්‍රතිලාභ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදය යටතේ සියලු අයදුම්පත් සමානව සලකා සුබ සාධන ප්‍රතිලාභ ලබා දීමේ නිර්ණායකන්ට යටත්ව පරීක්ෂා කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව ඔවුන්ට හිමිවන ලකුණු ප්‍රමාණය අනුව සුදුසුකම් ලැබීම සිදු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අස්වැසුම දෙවැනි අදියර අවසන් වන විට පවුල් ලක්ෂ 24කට ප්‍රතිලාභ හිමි වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පැවසීය. මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් සඳහන් කළේය.

ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ ඔහු මේ බව කියා සිටියේය.

සත්‍ය හා නිවැරැදි දත්ත ඇතුළත් අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කළ හැකි බව හා නිශ්චිත කාල රාමුව තුළ අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් දෙවැනි අදියර සඳහා අයදුම් කිරීමේදී අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බවත් ඔහු පැවසුවේය.

ජාතික හැඳුනුම්පත් නැති අයදුම්කරුවන්ට කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක කරයි.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් කිරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහ ග්‍රාම නිලධාරිවරයා හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාල ඔස්සේ සිදු කළ හැක. www.wbb.gov.lk වෙබ් අඩවිය මඟින් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තම අයදුම්පත සම්පූර්ණ කිරීමේ හැකියාව පවතී. මාර්ගගතව අයදුම් කළ නොහැකි පිරිස් සඳහා ආදර්ශ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ සිවිල් සංවිධාන හරහා ලබාගත හැකි අතර මෙම ඉල්ලුම්පත් කිසිසේත්ම මිලදී ගැනීමට අවශ්‍ය නොවේ.

පළමු අදියර සඳහා අයදුම් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් නොලැබූවන්ට මෙන්ම අභියාචනා පරීක්ෂණ සඳහා සහභාගි නොවූවන්ටද තොරතුරු නැවත සනාථ කිරීමට (Recertification) අවස්ථාවක් ඉදිරියේදී ලබා දීමට සැලසුම් කර තිබේ. අස්වැසුම පිළිබඳ වැඩි විස්තර 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබාගත හැකිය. එමෙන්ම අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් බර ගැනීම මාර්තු 15 වැනිදායින් අවසන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *