සරත් ෆොන්සේකා ගැන සජබට වාරණ නියෝගයක් – සජිත්ට නොතීසි

සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පක්ෂ සාමාජිකත්වය මෙන්ම ඔහු දරන කැලණිය සංවිධායක ධුරය අත්හිටුවීම සහ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන අය වෙත මෙම වාරණ නියෝග නිකුත් කරනු ලැබුවේ සරත් ෆොන්සේකා විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.
මෙම වාරණ නියෝගය දින 14ක් දක්වා බල පැවැත් වේ.

සරත් ෆොන්සේකා තම පැමිණිල්ලෙන් කියා සිටින්නේ, “හිටපු හමුදාපතිවරයෙකු වන දයා රත්නායක සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් මා ඊට විරුද්ධව අදහස් පළ කළා. දයා රත්නායකය යනු රට බංකොලොත් කිරීමට දායක වූ රාජපක්ෂ සහෝදරවරුන්ගේ පාලනයන් යටතේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ධූරය හා වරාය අධිකාරියේ සභාපති ධුරය දරා තිබෙනවා. ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පක්ෂග්‍රාහීව කටයුතු කළ අයෙක්. එවැනි පුද්ගලයෙක් සමගි ජන බලවේගයට එක්කර ගැනීම එම පක්ෂයේ පරමාර්ථ, ප්‍රතිපත්ති හා මූලධර්මවලට පටහැනියි. රාජපක්ෂ රෙජීමයේ දූෂණ වංචා හා සංග්‍රහයන්ට දායකවූ පුද්ගලයෙකු සමගි ජන බලවේගයට බඳවා ගැනීම තුළින් පක්ෂය කෙරෙහි තබා තිබෙන මහජන විශ්වාසය පළුදු වීමක් සිදුවෙනවා. මෙවැනි ක්‍රියා පක්ෂයේ අභ්‍යන්තර කටයුතු යැයි සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ නොකොට නිහඬව රහසිගතව තබා ගැනීම තුළින් පාක්ෂිකයන්ට දැඩි අසාධාරණයක් සිදුවෙනවා. මහජන නියෝජිතයකු හා පුරවැසියකු වශයෙන් මා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා ” යනුවෙනි.

මෙම පෙත්සම අද (19) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ කැඳවූ අතර එහිදී පෙත්සම්කාර සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වන ලදී.

අනතුරුව එම අදහස් පදනම් කරගෙන ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවට පසුගිය කාලයේ මාධ්‍යවලින් තොරතුරු පළවී තිබූ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන් අතර තම සේවාදායකයාට එරෙහිව අසාධාරණ ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීම, තනතුරු අත්හිටුවීම, සාමාජිකත්වයෙන් නෙරපීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය වාරණ නියෝගය නිකුත් කරමින් විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂද සිල්වා යන මහත්වරු වෙත නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *