මන්ත්‍රී ශකීබ් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් පිටියට

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් කැඳවීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

ඔහු ටෙස්ට් පිටියට පිවිසෙන්නේ වසරට පසුව වීම විශේෂත්වයක් වන අතර, අවසන් වරට පසුගිය වසරේ අප්‍රේල් මස මීර්පූර්හිදී අයර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කළේය.

එමෙන්ම 2023 නොවැම්බර් මාසයේදී පැවති ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු ප්‍රථම වතාවට ශකීබ් ජාත්‍යන්තර ක්‍රිකට් වෙත නැවත පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයටය.

වම් මාපට ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් ඔහුට ඕස්ට්‍රේලියාවට එරෙහිව අවසන් ලෝක කුසලාන තරගයට සහභාගි වීමට නොහැකි විය.

ටෙස්ට් තරග 66කට ක්‍රීඩා කර ඇති ශකීබ් ලකුණු 4454ක් රැස් කර ඇති අතර, දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 233කි.

මේ වසර මුලදී බංග්ලාදේශ මහ මැතිවරණයට ඉදිරිපත් වූ ඔහු මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වේ.

ආබාධයකට ලක්වූ මුස්ෆික් හසන් වෙනුවට නවක වේග පන්දු යවන හසාන් මහමුද් කණ්ඩායමට කැඳවා ඇති අතර, ඔහු තවමත් ටෙස්ට් වරම් හිමි කර ගෙන නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *