ගාසාහි රෝහලකට ප්‍රහාරයක් : මාධ්‍යවේදීන් 08 කට තුවාල

ගාසා තීරයේ පිහිටි රෝහලකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. 

මෙම ගුවන් ප්‍රහාරයෙන් නිදහස් මාධ්‍යවේදීන් 08 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් අතර BBC යේ සේවය කරන නිදහස් මාධ්‍යවේදියෙකුද වන බව සඳහන් වේ. 

මෙම ප්‍රහාරයෙන් ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් සිව්දෙනෙකු මියගොස් ඇත.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රයල හමුදා ප්‍රකාශ කර ඇත්තේ ඩීල් අල් බාලාහී අල් අක්සා රෝහල් භූමියේ පිහිටි ඉස්ලාමීය ජිහාඩ් අණදෙන මධ්‍යස්ථානයකට තමන් ප්‍රහාර එල්ල කළ බවය.

කෙසේවෙතත් රෝහල් කඳවුරු ලෙසට භාවිතා කරන බවට ඊශ්‍රායල චෝදනා හමාස් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රතික්ෂේප කර තිබේ.

අල්-අක්සා යනු මධ්‍යම ගාසා තීරයේ ක්‍රියාත්මක වන අවසාන රෝහලයි. රෝහල් භූමියේ තාවකාලික කූඩාරම්වල නවාතැන් ගන්නා සිය ගණනක් අතර මාධ්‍යවේදීන් ද විය.

රෝහල් භූමිය තුළ කඳවුරු බැඳ සිටින බොහෝ මාධ්‍යවේදීන් උතුරු ගාසා තීරයේ සිට පැමිණ ඇත. ආහාර, ජලය හෝ අඩු පහසුකම් යටතේ  සේවය කරයි. 

බොහෝ මාධ්‍යෙව්දීන්  රෝහල තුළ සහ ඒ අවට ජීවිත ගෙවන ආකාරය ලේඛනගත කරමින් ඡායාරූපගත කරමින් සිය රාජකාරි කටයුතු වල නිරත වෙමින් සිට ඇත. 

“ඔවුන් කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව කූඩාරම් වලට රෝහල් පරිශයට පහර දුන්නා, අපි අතර ත්‍රස්තවාදීන් කිසිවකුත් නැහැ. මාධ්‍යවේදීන් කණ්ඩායමක් ලෙස අපි කූඩාරමේ රැඳී සිටියා.  ඡායාරූප ශිල්පියෙකු වන අලි හමාඩ් රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා පැවසුවේ ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

“අපි නැවතත් රෝගීන්, සෞඛ්‍ය සේවකයින් සහ රෝහල් ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාර සහ මිලිටරිකරණය නැවැත්විය යුතුය. ජාත්‍යන්තර නීතීන් ගරු කළ යුතුය,” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.

පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් 77 දෙනෙකු මියගොස් ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *