කෝපය පාපයක් නොකරගන්නෙ මෙහෙමයි!

එදිනෙදා ජීවිතයේ ඕනෑම අවස්ථාවක කිසිදු බේදයකින් තොරව අපි හැමෝටම කේන්තිය, තරහව ඇතිවෙන්න පුලුවන්. එ් වගේම ඇතැම් අවස්ථාවලදි කේන්තිය, තරහව නිසා අපිට අපේ පාලනය අහිමි වෙන්නත් පුලුවන්. එලෙස පාලනයකින් තොරව සිදුකරන ක්‍රියා හේතුවෙන් අපිට අනාගතයේ පසුතැවෙමින් ජීවත්වීමට සිදුවෙන්නත් පුලුවන්.

ඇයි අපිට කේන්තිය, තරහව ඇතිවෙන්නේ?

එදිනෙදා ජීවිතයේ නිරන්තරයෙන් අත්විඳින කඩා වැටීම්, පහත්කොට සැලකීම්, ප්‍රතික්ෂේප වීම්, එදිනෙදා ජීවිතයේ මුහුණපාන ක්ලමථකාරී (stressfull) අත්දැකීම්, මූල්‍යමය ගැටලු, අතීත අත්දැකීම් හා කම්පනයන්, අපයෝජනයට ලක්වීම් සහ විවිධ මානසික අක්‍රමතා නිසාවෙනුත් කේන්තිය ඇතිවෙන්න පුලුවන්.

මේ කුමන හේතුවක් නිසා හෝ කේන්තිය ඇතිවුණත් ඒ හරහා කෙටි කාලීන වගේම දිගුකාලීන බලපෑම් අපිට ඇතිවෙනවා. ඒ බලපෑම් කායිකව, මානසිකව, මෙන්ම සාමාජීය යන අංශ තුනටම අහිතකර වෙන්න පුලුවන්.

කේන්තියාම නිසා දිගුකාලීනව ඇතිවන බරපතල කායික හා මානසික ගැටලු කිහිපයක් තිබෙනවා. උදාහරණ ලෙස අධිරුධිර පීඩනය (high blood presure / highpertension), රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉහළ යාම (high blood sugar), දිගු කාලීන හිසරද තත්ත්ව, චර්ම රෝග ආදී තත්ත්ව ඇතිවීමේ අවධානමක් තිබෙනවා.

දිගුකාලීනව ඇතිවන කේන්තිය පාලනය නොකිරීම තුළ කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් වැනි හෝර්මෝන ස්‍රාවය ඉහළ යනවා. මෙම හෝර්මෝන මගින් ශරීරයට හිතකර හෝර්මෝන වන ඩෝපමින්, එන්ඩොෆීන් ආදිය ස්‍රාවය සහ ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරවනවා. ඒ වගේම අපේ ශරීරයේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය කරන ඉන්සියුලින් හෝර්මෝනය නිෂේධනය කරවීම ආදියත් සිදුකරවනවා. ඒ නිසාම ඉහත සඳහන් කායික ගැටලු අපිට කේන්තිය නිසාම ඇතිවීමේ අවදානමක් තිබෙනවා.

ඒ වගේම නිතර ඇතිවන කේන්තිය කියන්නේ  පුද්ගල පෞරුෂයට එතරම් සුදුසු දෙයක් නෙමෙයි. ඒ හරහා පුද්ගල ප්‍රතිරූපයට හානි ඇතිවෙන්න පුලුවන්. සාමාජීය පිළිගැනීම අඩු වෙන්නත් පුලුවන්.

අපිට මේ තරම් හානියක් සිදුකරන කේන්තිය පාලනය කරගත හැකි විධික්‍රම කිහිපයක්ම තිබෙනවා. ඉන් ඔබට තනිවම අනුගමනය කළ හැකි විධික්‍රම කිහිපයක් පහතින් ඉදිරිපත් කරමි.

  1. සංයම අභ්‍යාස සිදු කිරීම.

මේ සඳහා ඔබට සුදුසු නිදහස් පරිසරයක් තෝරාගැනීම මුලින්ම කළයුතු අතර තත්පර කිහිපයක් ඇස් පියාගෙන සන්සුන් තත්ත්වයට පැමිණි පසු ගැඹුරු හුස්ම ගැනීම, මඳක් රඳවා තබාගෙන ක්‍රමවත්ව හුස්ම පිට කිරීම සිදු කළ යුතුය. හුස්ම ගැනීම හා පිට කිරීම වෙත අවධානය යොමු කිරීම සහ එමඟින් දැනෙන සැහැල්ලුව අත්විඳීම මෙහිදී සිදුකරනු ලබයි. දිනකර වරක් හෝ දෙවරක් විනාඩි 5-10 අතර මෙම අභ්‍යාසය සිදු කිරීම තුළ ඔබට ප්‍රතිඵල ලබා ගත හැකි වේ.

  1. 1- 10 ගණන් කිරීම.

මෙහිදී කේන්තියට පත් අවස්ථා වල කිසිවක් නොකියා මනසින් හෝ ගණන් කිරීම තුළ ඔබට යම් පාලනයක් ලබා ගත හැකිය.

  1. කේන්තියට පත් අවස්ථාවේදී එම ස්ථානයෙන් ඉවත්ව යෑම.
  2. දින පොතක් භාවිතා කිරීම හා ඔබ කේන්තියට පත් වුණු අවස්ථා සටහන් කිරීම (daily journaling).
  3. මිහිරි, සන්සුන් සංගීතයට සවන් දීම, කලාව හා සම්බන්ධ කටයුතු වල නියැලීම, සුරතල් සතෙකු ඇති කිරීමට යොමු වීම.
  4. Yes, I’m ok, ඔව්, මම හොඳින් වැනි ධනාත්මක ස්වයං කථන භාවිතයට යොමුවීම.

ඔබට උක්ත ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් ද කේන්තිය පාලනය කරගත නොහැකි නම් මනෝ උපදේශනයට යොමුවීම සුදුසු යැයි යෝජනා කරමි. ඒ හරහා ඔබට සාර්ථක, සාමකාමී ජීවිතයක් ගත කිරීමට මඟපෙන්වීමක් ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *