පැනික් නොවී සැහැල්ලු වෙමු !

අපි හැමෝම එදිනෙදා ජීවිතයේදී අර්ථය දැන හෝ නොදැන භාවිතා කරන විවිධ වචන තියෙනවා. ‘Panic’ කියන්නේ අන්න ඒ විදියට අපි භාවිතා කරන වචනයක්.

‘මාව ඒ වෙලාවේ නම් පුදුම විදියට Panic වුණා’, ‘එයාව දැක්කා විතරයි මාව Panic වුණා’, ‘exam result ආවා කියලා දැනගත්තම මාව Panic වුණා.’ මෙන්න මේ වගේ විවිධ ආකාරයට විවිධ අවස්ථා වලදී අපිට Panic කියන වචනය අහන්න ලැබෙනවා.

ඇත්තටම මොකද්ද මේ ‘Panic’ වෙනවා කියන්නේ ?

පුද්ගලයෙක් හදීසියේ ඉතාම බිහිසුණු ලෙස තැතිගැන්මට ලක්වීම හෝ පවතින කාංසා තත්ත්වයක ක්ෂණික වැඩි වීමක් සාමාන්‍යයෙන් Panic වීමක් ලෙස හඳුන්වනවා. මනෝවිද්‍යාවේදී මේ තත්ත්වය Panic Attack ලෙස හඳුන්වනවා.

Panic Attack ඇති වීම කෙනෙක්ට ඉතාම භයානක අත්දැකීමක් වෙන්න පුලුවන්. කිසිඳු සැබෑ අනතුරක් හෝ පැහැදිලි හේතුවක් නොමැතිව වුවත් මෙම Panic Attack ඇත්වන අතර විටෙක නින්දේදී වුවත් මේ තත්ත්වය ඇතිවිය හැකියි. ඒ වගේම දිගුකාලීනව පවතින අධික බියවීම් නිසා මෙම Panic Attack තත්ත්වය Panic Disorder ( සංත්‍රාස අක්‍රමතාවයක්) දක්වා වර්ධනය විය හැකිය. එම නිසා මේ තත්ත්වය ගැන දැනුවත් වීම ඉතාම වැදගත්.

විශේෂයෙන්ම මෙම Panic Attack මඟින් පුද්ගලයෙක්ට ජීවිත හානි ඇති නොකළත් එය ඔහුගේ පෞර්ෂයට හා ජීවන තත්ත්වයට සැලකිය යුතු බලපෑම් එල්ල කළ හැකිය.

Panic Attack සාමාන්‍යයෙන් කිසිඳු පෙර දැනුම් දීමකින් තොරව ඕනෑම අවස්ථාවක හදීසියේ ඇතිවන තත්ත්වයකි. එසේම සමහර අයට විශේෂිත අවස්ථා වලදී පමණක් ( exam, පුද්ගලයන් වැඩිපුර ගැවසෙන ස්ථානවලදී ..) මෙම තත්ත්වය විවිධ ස්වරූප වලින් ඇතිවන්නත් පුලුවන්. එසේම මෙය මිනිත්තු කිහිපයකට සීමාවන, සාමන්‍ය තත්ත්වයට පත්වූ පසු අධික තෙහෙට්ටුවක්/ වෙහෙසක් දැනෙන තත්ත්වයක් ලෙසත් හඳුන්වන්න පුලුවන්.

සාමාන්‍යයෙන් Panic Attack ඇතිවීමේ ලක්ෂණ ලෙස අධික හදවත් ස්පන්ධනය, කරකැවිල්ල, ක්ලාන්තය, අධික උණුසුමක් හෝ අධික ශීතලක් දැනීම, අධිකව දහඩිය දැමීම, කම්පන ස්වභාවය, පපුව හෝ බඩ රිදෙන්න ගැනීම, හුස්ම හිර වීම/ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම, කකුල් පණ නැති වීම හෝ ගැහෙන්න වෙව්ලන්න ගැනීම, මනස සහ පරිසරය අතර සමඟ ඇති සබඳතා ඇණහිට ඇති බව දැනීම (disconnected from your mind and surrounding ), මිය යෑමට ආසන්න ලෙස දැනීම ආදිය ගත හැකිය. මේ සියලු ලක්ෂණ හෝ කිහිපයක් සමඟ ඔබට දැනෙන අධික බිය මෙම තත්ත්වයේ විශේෂ ලක්ෂණ ලෙස ගත හැකිය.

මෙම තත්ත්වය ඔබට දිගින් දිගටම පවතිනවා නම් මනෝවෛද්‍ය උපදෙස් කරා යොමු වීම ඉතාම වැදගත් වන අතර එසේ නොවීම තුළ දරුණු කායික ගැටලු ඇතිවීමේ හැකියාවක් ඇත.

ඊට අමතරව මනෝඋපදේශනයට යොමුවීම තුළින් මනෝප්‍රතිකාර, ප්‍රජානන චර්‍යා ප්‍රතිකාර, සංයම අභ්‍යාස සහ ක්ලමත කළමණාකරණ අභ්‍යාස සඳහා යොමුවීම තුළින් ඔබට වඩාත් සුවපහසු ජීවිතයක් ගත කිරීමට මඟපෙන්වීමක් හිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *