දේවල් බදා ගන්නවට වඩා බෙදා ගනිද්දි ලස්සනයි

ඉස්සර වගේ කැමති විදිහට අඳින්න, රස්තියාදුවේ යන්න, කඩ චොරුවක් කන්න හිතෙන පරක්කුවට අපිට දැන් අමාරුයි. කසාදයක් බැඳලා දරුවෝ ඉන්නවනම් ඒ දරුවෝ වෙනුවෙන් වෙනදා වගේ හවස වැඩ ඇරිලා ගෙදර යද්දි රස කැවිල්ලක් ගෙනියන්න බැරිවෙයි.

ඉතින් අපි කොයි කවුරුවත් අපිට අවශ්‍ය දේවල් කර ගන්න බැරිව පසුතැවෙමින් ජීවිතය ගෙවනවා. මේ විදිහට ඔලුව ඇතුලේ පෙරළි කරන අපේ දුක, වේදනාව කළකිරීම එක තැනකදි අපේ සීමාව අභිබවා යනවා.

අන්න එතකොට අපේ මානසික සමබරතාවය නැති වෙන්න ගන්නවා. එහෙම සමබරතාවය නැතිවෙලා තියෙන කෙනෙක්ට උදව්වක් වෙන්න අපිට පුළුවන්. ඒ බෙදා ගැනීම මගින්.

අපි ළඟ වැඩිපුර තියෙන දෙයක් වෙන කෙනෙක්ට දීම, අපි සතුව තියෙන නමුත් මෙහි අවශ්‍යතාවය වැඩිපුරම දැනෙන කෙනෙක්ට එය ලබාදීම වගේ ඕනම විදිහකට අපිට දේවල් බෙදා ගන්න පුළුවන්. ඒ හරහා කෙනෙක් ලබන සතුට අපිට වචනවලට පෙරලන්න අපහසුයි.

ඉස්සර වත්තේ පිටියේ හැදෙන දේවල්, ගෙදර උයන කෑම බීම පවා ගමේ අය එක්ක අපි බෙදා ගන්නවා. අදත් ඒ පුරුදු හරි අඩුවෙන් වුණත් සමහර ගම්වල දකින්න පුලුවන්. බෙදා හදා ගැනීම කියන්නේ මේ වගේ කාලෙක ප්‍රායෝගිකව අපි කළ යුතුම දෙයක්.

යම් දෙයක් කෙනෙක්ට දෙනවා නම් බෙදා ගන්නවානම් අදාළ දේ සතු වටිනාකම වැදගත් වෙන්නේ නැහැ. ඒ සමඟ පිරිනමන ආදරය තමයි වැදගත්. අපි කෙනෙක්ට යම් දෙයක් දෙනවා නම් බෙදාගන්නවා නම් ඒ මොහොතෙම අත්හරින්නත් පුරුදු වෙමු. ඒ වගේම අපිට කාගෙන්ම හරි දෙයක් ලැබුණොත් ඒ ගැන කෘතවේදීත්වය පිරිනමන්නත් අමතක නොකරමු.

කෙනෙක්ට දෙයක් දීම බෙදා ගැනීම තුළ අපි දුප්පත් වෙන්නේ නැහැ. මොකද ඒ හැඟීමම අපිව පොහොසත් කෙනෙක් බවට පත් කරන නිසා. අපි හිතන තව දෙයක් තමයි අපි ජීවත් වෙන්නෙත් අමාරුවෙන් නිසා අපිට යමක් තියෙන කාලෙක අනෙක් අයට උදව් කරනවා කියලා.

නමුත් මිල මුදල් තෑගි බෝගවලින්ම නැතුව වචනවලින් සිනහවකින් වගේම ශ්‍රමයෙන් වුණත් උදව් කරන්න අපිට පුළුවන්. කෙනෙක්ගේ දුකකදී ඒ දුකට ඇහුකම් දීලා දීලා, අපිට ලොකු සැනසීමක් දෙන්න පුළුවන් පුළුවන්. ඒ නිසා කෙනෙක්ට උදව් කරන්න මිල මුදල් අවශ්‍ය නැහැ නේද? හැඟීමක් බෙදා ගැනීම පවා උදව්වක්.

මේ පුංචි ලෝකය ඇතුළෙ ඉන්න අපි, අපිට වගේම අපේ දරුවන්ටත් යහපත් වෙන්න පුරුදු කරන්නම ඕනේ. අද අපි දකිනවා සමහර දරුවෝ තමන් ළඟ තියෙන දෙයක් වෙන කෙනෙක්ට දෙන්න කැමති නැහැ.

එයාලා දේවල් ලබලා සතුටු වෙන්න මිසක් දෙයක් දීම තුළින් සතුටු වෙන්න පුරුදු වෙලා නැහැ. ඒ හරහා අනාගතයේදී ආත්මාර්ථකාමී ගති ගුණ වැඩි පරපුරක් බිහි වීමේ සම්භාවිතාවයත් වැඩියි.

ඒ නිසාම සංවේදීතාවයෙන් අඩු පරපුරක් නිර්මාණය වෙන්නත් පුළුවන්. ඉතින් අපි දරුවොත් හවුල් කරගෙන තව කෙනෙක්ට උදව් කරමු. දේවල් බෙදා ගනිමු. ආදරණීය වෙමු !. සතුටින් ජීවිතය විඳිමු !.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *