මෙරට අන්තර්ජාල ළමා අපයෝජන ඉහළට

මෙරට බාලවයස්කාර දරු දැරියන් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක්වීම ඉහළයෑම සම්බන්ධයෙන් අමෙරිකානු ආයතනයක් වන අතුරුදන් වූ සහ සූරාකෑමට ලක්වූ ළමයින් පිළිබඳ ජාතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට දැනුම්දීමක් කර තිබේ.

එම වාර්තා පදනම් කරගනිමින් අධිකරණයට ගිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවය.

කෙසේ වෙතත්, අන්තර්ජාලය හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් ඔවුන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම් සම්බන්ධයෙන් මේ වසරේ පළමු මාස තුනේදී පමණක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි ගණන 55කි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැවසුවේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් ඔවුන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම්වලට අදාළව 2023 වසරේදී පැමිණිලි 150ක්ද මේ වසරේ අප්‍රේල් 31 දක්වා පැමිණිලි 55ක්ද ලැබී ඇති බවයි.

අමෙරිකානු ආයතනයක් වන අතුරුදන් වූ සහ සූරාකෑමට ලක්වූ ළමයින් පිළිබඳ ජාතික මධ්‍යස්ථානය අනාවරණ කරන්නේ, අපයෝජන සඳහා අන්තර්ජාලය ඔස්සේ ළමයින් පොළඹවා ගැනීම් 2021, 22 සහ 23 වසරවලදී සියයට 300කින් වැඩි වී ඇති බවය.

ශ්‍රී ලංකාවේ, බාලවයස්කාර දරු දැරියන්ගේ ඡායාරූප අසභ්‍ය ලෙස නිර්මාණය කරමින් සන්තකයේ තබාගැනීම හා අන්තර්ජාලයට මුදාහැරීමට කිසියම් පිරිසක් පියවර ගෙන ඇති බව ද එම අමෙරිකානු ආයතනය දැනුම්දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *