රයිසිගේ හදිසි වියෝවට NPP ය ශෝක වෙයි

මාරාන්තික හෙලිකොප්ටර් අනතුරින් ඛේදජනක ලෙස දිවි අහිමි වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව ජාතික ජන බලවේගය සිය ශෝකය ප්‍රකාශ කර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ, ඊබ්‍රහිම් රයිසි ජනාධිපතිවරයාගේ වියෝව ඉරාන ජනතාවට සහ මැදපෙරදිග ජනතාවට පමණක් නොව ගෝලීය ප්‍රජාවටම පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවද ඇතුළු බොහෝ රටවල් සමග රයිසි ජනාධිපතිවරයා, මිත්‍රශීලී සහ ආධිපත්‍යමය නොවන සබඳතාවන් ශක්තිමත් කර ගැනීමට වෙහෙස නොබලා කටයුතු කළේය. ඉරාන ජනතාවගේ අරමුදල්වලින් ඉදිකරන ලද ජලවිදුලි බලාගාරය විවෘත කිරීම සඳහා වූ ඔහුගේ මෑත කාලීන ශ්‍රී ලංකා සංචාරය ජාත්‍යන්තර සහයෝගීතාව සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඔහුගේ නොවෙනස් කැපවීම පිළිබඳ සාක්ෂියකි. එසේම ඒ හා සමාන ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා අසර්බයිජානය වෙත ගිය ඔහුගේ අවසන් සංචාරයද කලාපීය සහයෝගීතාව සහ අනෝන්‍ය සෞභාග්‍යය වෙනුවෙන් වූ ඔහුගේ දැඩි කැපවීම අවධාරණය කරයි.

සහයෝගීතාව, සංවර්ධනය සහ මිත්‍රශීලී සබඳතා දිරි ගැන්වීම පිළිබඳ ඔහුගේ ආදර්ශය, ඉරානය තුළත් පොදුවේ මැදපෙරදිග පුරාමත් අඛණ්ඩ සංවර්ධනය සහ ස්ථීරසාරභාවය සහතික කරමින් ඔහුගේ අරමුණ ඉදිරියට ගෙන යනු වස් ඉරාන ජනතාව නිසැක ලෙසම ප්‍රබෝධමත් කරනු ඇති බවට ජාතික ජන බලවේගය ලෙස අපට විශ්වාසය. මෙම ඛේදජනක අවස්ථාවේ ඉරාන ජනතාවට අපි අපේ දැඩි සහයෝගීතාව පළ කර සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *