කාම්බෝජ හා තුර්කි ගමන් බලපත් භාවිත කර ගෙන සංචාරකයන් ලෙස මෙරටට ඇතුළු වීමට තැත් කළ සැක කටයුතු චීන ජාතිකයන් දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපළ ආගමන හා විගමන නිලධාරීන් විසින් පෙරේදා (ඔක්. 19) රාත්රියේ යළි පැමිණි ගමනාන්තයට ම හරවා යවනු ලැබ ඇත.
සංචාරක වීසා මත පැමිණි ඔවුන් ආගමන විගමන නිලධාරීන්ගේ ප්රශ්න කිරීම් හමුවේ කළ පරස්පර ප්රකාශත් චීන රජයේ ආගමන නීති උල්ලංඝණය වන අයුරින් ගමන් බලපත් කිහිපයක් පාවිච්චි කිරීම හා ඔවුන් රට තුළට ගැනීම සඳහා තවත් පිරිසක් දුරකතන ඇමතුම් මගින් නිලධාරීන්ට බලපෑම් කිරීමට යන කරුණු සැලකිල්ලට ගෙන මෙම ආපසු හරවා යැවීම කළේ යැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
තායිලන්තයේ, බැංකොක් නුවර සිට ශ්රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන්යානයෙන් පැමිණි මෙම පුද්ගලයන් දෙදෙනා වීසා බලපත් සඳහා මුදල් ගෙවා ‘සේද මාවත’ පහසුකම ඔස්සේ ආගමන කවුළුව වෙත පැමිණ ඇතැයි ද කාම්බෝජියානු හා තුර්කි ගමන් බලපත් දෙකක් ඉදිරිපත් කර ඇතැයිද එම නිලධාරියා කීය.