ඉන්දියාවෙන් කැනඩාවට බරපතල අවවාදයක්!

ඉන්දියාව කැනඩාවේ සිය මහ ලේකම්වරයා ආපසු කැඳවීමට ඊයේ පියවර ගත්තා. සිය තානාපති නිලධාරීන්ට ආරක්ෂාව සැලසීම සඳහා කැනඩා ආණ්ඩුවට ඇති හැකියාව පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බවයි ඉන් දියාව සඳහන් කරන්නේ.

කාලිස්ථාන බෙදුම්වාදියකු වූ හර්දීප් සිං නිජ්ජර්ගේ ඝාතනය පිළිබඳ මීට කලකට පෙර ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍යතාන්ත්‍රික ආරවුලක් හටගත්තා. කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ චෝදනා කළේ එම සිද්ධියට ඉන්දියානු රජයට සම්බන්ධ ඒජන්තයන්ගේ සම්බන්ධයක් ඇති බවයි. කෙසේ වෙතත් එම චෝදනාව සඳහා ඔහු කිසිදු සාක්ෂියක් ප්‍රසිද්ධ කළේ නැහැ.

ඉන් අනතුරුව ගතවූ සමයෙහි කාලිස්ථාන විරෝධතාකරුවන් අවස්ථා කිහිපයකදී ම ඉන්දියානු විරෝධී උද්ඝෝෂණ කැනඩාවේදී පැවැත්වූවා. එක් අවස්ථාවක ඔවුන් ඉන්දිරා ගාන්ධි අගමැතිණියගේ ඝාතනය උත්කර්ශයට නැගුවා. තවත් අවස්ථාවක කැනඩාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්ජේ කුමාර් වර්මාගේ අනුරූ පිළිස්සුවා. එහෙත් කැනඩාව ඒ පිළිබඳ කිසිදු පියවරක් ගත්තේ නැහැ.

පසුගිය ඉරිදා කැනඩා රජය ඉන්දියාවට දන්වා තිබුණේ කිසියම් පරීක්ෂණයකට අදාලව මහකොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පිළිබඳව ද අවධානය යොමුව ඇති බවයි. මේ පරීක්ෂණය නිජ්ජර් ඝාතන සිද්ධිය බවයි විශ්වාස කෙරෙන්නේ. කැනඩාව පවසන්නේ තමන් ඉන්දියාවට අදාල සිද්ධිය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කර ඇති බවයි. එහෙත් ඉන්දියාව එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා.

ඉන්දියානු විදේශ අමාත්‍යංශය නිවේදනයක් මගින් කියා සිටියේ කැනේඩියානු අගමැතිවරයා අභ්‍යන්තර දේශපාලන ගැටළු නිරාකරණය කරගැනීමට ඉන්දියාව පටලාගෙන තිබෙන බවයි. ඉන්දියාව විසින් තමන්ට අවශ්‍ය වූ කැනඩාවේ ජීවත්වන පුද්ගලයන් බාර දෙන ලෙස කළ ඉල්ලීම් කිහිපයක්ම කැනඩාව විසින් ප්‍රතික්ෂේප කළ බව ද ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසනවා. ටෲඩෝගේ ඉන්දියානු විරෝධය ඉතා පැහැදිලි බවයි ඉන්දීය විදේශ අමාත්‍යංශය අවධාරණය කළේ.

තවද​, ඉන්දියාව මීටත් වඩා තදබල පියවර ගැනීමට වුවද පසුබට නොවන බවත් එරට විදේශ අමාත්‍යංශය කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *