ගාන්ධි සෙවනේ මියගිය ගාන්ධි ඝාතන වරදකරු ‘සාන්තන්’

වසර 1991 මැයි මස 21 වැනිදා සිදුකළ රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවෙකු වූ තිලිඅම්පලම් සුතන්තිරරාජා හෙවත් සාන්තන් වකුගඩු රෝගයකින් මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු දිගින් දිගටම වකුගඩු රෝගයකින් පිඩා විඳ තිබුණු අතර චෙන්නායි හි රජිව් ගාන්ධි රජයේ රෝහලේ දී එම රෝගි තත්වය උත්සන්න වීම හේතුවෙන් මියගොස් තිබිණි.

55 හැවිරිදි සාන්තන්ට වසර 32ක සිර දඬුවම් විඳීමෙන් පසු 2022 නොවැම්බර් මාසයේදී නිදහස හිමිවුණු අතර ඔහු මේ වනතෙක් ට්‍රිචි මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රයේ විශේෂ කඳවුරක රැඳී සිටියේය.

2023 ජුනි මාසයේදී සාන්තන් තම රෝගී මව සමඟ සිටීමට ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස නිල වශයෙන් ඉල්ලා සිටියේය.

පසුව ඔහුගේ ඉල්ලීම මත මේ සතිය තුළ ඔහු නැවත ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි.

පෙබරවාරි මස මුලදී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඔහුගේ ආපසු පැමිණීමට පහසුකම් සැලසීම සඳහා අදාල ලියකියවිලි චෙන්නායි හි ඉන්දියානු විදේශිකයන් ලියාපදිංචි කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය (FRRO) වෙත ලබා දී තිබුණු අතර ඒ අනුව පසුගිය සිකුරාදා සාන්තන්ගේ පිටුවහල් කිරීම සඳහා අදාල පිටවීමේ බලපත්‍රය නිකුත් කළේය.

සාන්තන් රජීව් ඝාතනය සිදුකරන විට වන විට 20 වැනි වියේ පසුවූ අතර ඔහුගේ අධ්‍යයන කටයුතු කරගෙන යාම සඳහා ඔහු චෙන්නායි වෙත යවා තිබිණි.

ඉන්දියාවට පැමිණීමෙන් පසු එල්.ටී.ටී.ඊ.ය විසින් ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ගාස්තු ගෙවූ බව පැවසෙන අතර මදුරාසියේ ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ සාන්තන් සිය අධ්‍යාපන කටයුතු සිදුකළ බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *