නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසි කරයි

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කර තිබේ.

ඔහුට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව ප්‍රකාශ කර ඇත.

ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයිරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

2019 වසරේ මාර්තු 10 වැනිදා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය වසර 3ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබිණි.

එවකට අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ යන විනිසුරුන්ගේ එකඟත්වය ඇතිව ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන විසින් එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුට එරෙහිව කරන ලද පැමිණිල්ලකට අනුව පැවති විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

2015 වසරේ මැයි මස 23 දා එවකට අභියාචනාධිකරණ සභාපති විනිසුරු වශයෙන් කටයුතු කළ විජිත් මළල්ගොඩ ඉදිරියේ පැවති රේගු නඩුවකදී ඒ මහතා අපහසුවට පත්වන අයුරින් නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයේ ප්‍රකාශයක් සිදු කලේ යැයි චෝදනා කරමින් නාගානන්ද කොඩිතුවක්කුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *