ශ්‍රී පාදය : මාස 03 යි, ප්ලාස්ටික් ටොන් 03 යි

ශ්‍රී පාද වන්දනාකරුවන් විසින් ශ්‍රී පාද උඩ මළුව දක්වා වූ මාර්ගය අවට බැහැර කර තිබුනු ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 03ක් පමණ එක්රැස් කළ බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.රාජවීරන් පැවසුවේය.

ඔහු පෙන්වාදෙන්නේ මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා වූ මාර්ගයෙන් මෙම ප්ලාස්ටික් වතුර බෝතල් තොග‍ය එකතු කළ බවයි.

මෙසේ එකතු කළ ප්ලාස්ටික් වතුර බෝතල් තොගය නල්ලතන්නියේ කැළි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන එන බවත්, එහිදී ඒවා පෞද්ගලික අංශයට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරීම සඳහා නිසි පරිදි කසල බඳුන් සවිකර තිබුණද ඇතැම් වන්දනාකරුවන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදාහරින බව ඔහු පවසයි.

2023-2024 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය පසුගිය දෙසැම්බර් 26 දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ වූ අතර ඒ බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් නිවේදනය කර සිටියේය.

සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුව වෙත වඩම්මවා ශ්‍රි පාද පද්මය සුවද පැණින් දෝවනය කර ආගමික වතාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව 26 දින උදෑසන යෙදුණු සුභ නැකතට වැඩම්ම වු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කිරිමෙන් පසු ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරනු ලැබීය.

2023 – 2024 ශ්‍රි පාද වන්දනා වාරයේදි ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට කිසිදු හිරිහැරයක් නොවන සේ කටයුතු කරමින් ශ්‍රි පාද පුද බිමට පිවිසෙන මාර්ගය දෙපස පොලිතින්, ප්ලාස්ටික් වැනි නොදිරන ඝන අපද්‍රව්‍ය මුදා නොහැර ශ්‍රි පාදස්ථානය පුජනිය ස්ථානයක් ලෙස සලකා කරුණා කරන ලෙස ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වුවද නිවැරදි ලෙස කළමනාකරණය නොකිරීමෙන් ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 1.59 ක් පරිසරයට මුදාහැරෙන අතර ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් ඇළ මාර්ග, ගංගා සහ අවසානයේ සාගරයට එකතු වී සාගර පරිසර පද්ධති අනතුරේ හෙළනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *