බය වෙන්නෙපා : ගොඩ එන්න පුලුවන්

අපේ ජීවිත, බොහෝ දුරට එකම කාල සටහනකට කොටු වෙලා. පවතින සමාජ, ආර්ථික හා දේශපාලනමය ස්වභාවය තුළ අපේ ජීවිත හරිම සංකීර්ණ වෙලා. ඒ නිසාම අපේ ජීවිත හරිම ඒකාකාරී විදිහටයි ගතවෙන්නෙ. මේ නිසාම අපිට අපිව මගහැරෙනවා. ඒ වගේම අපේ ආදරණීයයන්ව මගහැරෙනවා. ඒ නිසාම අපේ වෙනස්කම්, ආදරණීයයන්ගේ වෙනස්කම් අපිට නොපෙනී යනවා / මගහැරෙනවා. මේ තත්ත්වය කිසිසේත්ම හොඳ දෙයක් නම් නෙමෙයි.

වර්තමානය වනවිට විවිධ හේතු නිසා නොයෙකුත් මානසික අක්‍රමිකතාවන්ට ලක්වූ පුද්ගලයන් සමාජයේ ඉන්නවා. නමුත් බොහෝ දුරට ඔවුන්ට ඒ සම්බන්ධව වැටහීමක්, අවබෝධයක් නැහැ. දරුවන්ගේ මෙම තත්ත්ව සම්බන්ධව දෙමව්පියන්ට අවධානයක් යොමු කරන්නට වේලාවක් නැහැ. ස්වාමිපුරුෂයා භාර්යාව සම්බන්ධව වුණත් තත්ත්වය එසේමයි. ඒ වගේම වයෝවෘද්ධ දෙමව්පියන්ගේ තත්ත්වයන් ගැන දරුවන්ට අවබෝධයක් නැහැ. මේ නිසාම සුලු මනෝ ප්‍රතිකාරයකින්, උපදේශනයට යොමු වීමකින් වළක්වා ගත් හැකි සුලු මානසික රෝග තත්ත්ව උග්‍ර මානසික රෝග බවට පත්වෙන්නට පුලුවන්.

ඔබ කාංසාව ගැන දැනුවත් ද? කාංසාව කියන්නේ ඉතාම සුලු ප්‍රතිකාර හා උපදේශනයට යොමුවීමෙන් වළක්වා ගත හැකි සුලු මානසික අක්‍රමතාවයක්. සරලවම යම්කිසිදෙයක්, පුද්ගලයෙක්, අවස්ථාවක් සම්බන්ධව ඇති වන කනස්සලු සහගත, බියජනක ස්වභාවයක් විදියට කාංසාව හඳුන්වන්න පුලුවන්. මේ සඳහා විවිධ හේතු බලපාන්න පුලුවන්. ඔබට වගේම ඔබේ ආදරණීයයන්ට වුවත් මෙම කාංසා තත්ත්ව ඇති වන්නට පුලුවන්.

මෙම කාංසාව ආකාර කිහිපයකට ඇතිවිය හැකි අතර ඒවාට උදාහරණ ලෙස Separation Anxiety, Specific Phobia, Social Anxiety Disorder, Panic Disorder ගන්න පුලුවන්. මේ විවිධ කාංසාමය තත්ත්ව වලට ආවේණික රෝග ලක්ෂණ තිබෙනවා. ඒ වගේම මේ තත්ත්ව සියල්ලටම පාහේ දැකිය හැකි පොදු ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා.

  1. ප්‍රචණ්ඩත්වය.
  2. තනිව ගමන් බිමන් යෑම ප්‍රතික්ෂේප කිරීම / තනිව නිදා ගැනීම ප්‍රතික්ෂේප කිරීම.
  3. නින්දෙන් බිය වීම, නපුරු සිහින නිතර දැකීම.
  4. අධික ලැජ්ජාව.
  5. සමාජයෙන් හුදෙකලා වීම සහ පසු බැසීම.
  6. දේවල් සම්බන්ධව අසාමාන්‍ය බිය.
  7. විවිධ අවස්ථාවලදී ඇති වන අධික දහඩිය දැමීම, වේගවත් හද ගැස්ම, ඕක්කාර ස්වභාවය, තොලකට වියළීම.
  8. ව්‍යාකූල බව.
  9. අතීසාර තත්ත්ව.
  10. ලිංගික ගැටලු ඇති වීම.

මෙකී ලක්ෂණ ඔබට, ඔබේ ආදරණීයයන්ට නිතර හෝ විවිධ සුවිශේෂී අවස්ථාවල ඇති වේ නම් බොහෝ විට එය කාංසාමය තත්ත්වක් වන්නට හැකියි. ඒ සඳහා මනෝවෛද්‍යවරයකුගේ හෝ මනෝඋපදේශකයෙකු වෙත යොමු වී අවශ්‍ය ප්‍රථිකාර හා උපදේශනය ලබාගැනීම තුලින් එම තත්ත්වයෙන් අත්මිදීමේ හැකියාව පවතී.

එබැවින්, ඔබ නිරන්තරයෙන්ම ඔබේ සහ ඔබේ ආදරණීයයන්ගේ චර්යාවන්, වෙනස්කම් සම්බන්ධව අවබෝධයෙන් සිටී නම් මෙවන් සුලු මානසික අක්‍රමතා හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුළින් ඔබට සුවපත් පවුලක්, සුවපිරි ජීවිතය ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *