මධු සමය දා රතු පැල්ලම හොයන අයට…

විවාහය කියන්නේ ජීවිතයේ අපි අත්විඳින හරිම ලස්සන, කවදාවත්ම අමතක කරන්න බැරි සුන්දර අත්දැකීමක්. විශේෂයෙන්ම යුවතියක් තමන්ගේ මංගල දිනය වෙනුවෙන් සිහින මවන්න පටන්ගන්නේ යමක් තේරුම් ගන්න පුලුවන් අවධියේ පටන්මයි.

තරුණ තරුණියන් තම ජීවිතයේ ලබන විවිධ අත්දැකීම් ඔස්සේ සංවිධානය කරගනු ලබන, හරිම ලස්සන මෙන්ම විසිතුරු මංගල දිනයකදී යුග දිවියට පිවිස, සාර්ථකව ජීවිතය ඉදිරියට ගෙනියන්න සිහින මවනවා. අද අවධානය යොමු කරන්නේ මේ සිහින මැවීම් උඩුයටිකුරු කරන, සමහර විටෙක කාන්තාවකට විවාහයෙන් පසු මියයන තුරාවටම බලපෑම් ඇති කළ හැකි කිසිඳු සාධාරණත්වයක් නොමැති කාරාණයක් සම්බන්ධවයි.

ඒ තමයි කාන්තාවන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම. ඈත අතීතයේ පටන්ම කාන්තාවන්ගේ චරිතවත් බව පරීක්ෂා කිරීමට නොඑසේනම් පවිත්‍රත්වය විමසීම සඳහා මෙම පරීක්ෂාව සිදු කළ බව කියවෙනවා. පසු කාලීනව මේ සඳහා විවිධ සංස්කෘතික අංග ලක්ෂණද එකතුවී ඇති අතර වර්ථමානයේ කාන්තාවට එය විශාල මානසික, කායික සහ සාමාජීය බලපෑම් එක් කරන චාරිත්‍රයක් බවට පත්වීම සිදු වී තිබෙනවා.

කන්‍යාපටලය යනු කාන්තාවකගේ යෝනි මාර්ගයේ අඟල් 3.5-4.5 පමණ අභ්‍යන්තරයට වන්නට පිහිටන පේශී පටලයක්. නමුත් මේ පේශී පටලය සියලූම කාන්තාවන්ගේ පිහිටනු ලබන / පිහිටිය යුතු අත්‍යාවශ්‍ය අංගයක් ලෙස වෛද්‍ය විද්‍යාවේදී හෝ හඳුනාගෙන නැහැ. එසේම මෙය පිහිටන ස්වරූපය අනුව මෙයට හානි වීම හෝ නොවීම තීරණය වෙන්නත් පුලුවන්. උදාහරණයක් විදියට කන්‍යාපටලයක් පිහිටියත් එය පළමු ලිංගික එක්වීමේදී බිඳී නොයන්නත් පුලුවන්. බිඳී ගියත් රුධිර පිටවීමක් දක්නට නොලැබෙන්නත් පුලුවන්.

කාන්තාව අරඹයා කාන්තාව විසින්ම කිසිඳු සහනදායී ප්‍රතිපදාවක් අනුගමනය නොකරන මෙවැනි සමාජයකට කන්‍යාභාවය එහෙමත් නැතිනම් මේ පේශී පටලය කියන්නේ වින්දිත කාන්තාවන් තව තවත් පීඩනයට පත් කළ හැකි ආයුධයක්. පුරුෂයෙකුගේ පවිත්‍රත්වය සම්බන්ධව කිසිඳු ප්‍රශ්නාර්ථයක් ඉදිරිපත් නොකරන සමාජයක චරිතවත් බවක් නොමැති පිරිමින් පවා කාන්තාවකගෙන් බලාපොරොත්තු වන පාරිශුද්ධ සලකුණක් ලෙස මේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම හඳුන්වන්න පුලුවන්.

කන්‍යාපටලය තුළින් චරිතවත් බව තීරණය කරන කාන්තා පුරුෂ දෙපාර්ෂවයටම කිවයුතු වැදගත් කරුණක් වනුයේ කන්‍යාපටලයට හානි සිදු නොකරගෙන වෙනත් ක්‍රම ඔස්සේ ලිංගික අවශ්‍යතා සපුරාගන්නා කාන්තාවන් මේ සමාජයේ ඕනෑතරම් සිටිය හැකිය. එමෙන්ම විවාහයෙන් පසු පෙන්වීමට සලකුණක් ඉතිරිවන නිසා කිසිම අයුරකින් චරිතවත් බව සම්බන්ධව ගැටලු ඇති වීමක්ද ඔවුන්ට නොවේ. එබැවින් ඔබ විසින් සිදු කරනු ලබන පරීක්ෂාව දෝෂ සහිත විය හැකි බවද අවධාරණය කරමි.

නමුත් තමන්ට උපතින්ම මෙකී පටලය නොපිහිටන, පිහිටියද ප්‍රථම ලිංගික එක්වීමේදී බිඳී යාමක් සිදු නොවන, නොඑසේනම් බිඳී ගියද රුධිර පැල්ලමක් ඇති කිරීමට තරම් රුධිර වෑස්සීමක් නොවන, කිසිම ආකාරයකින් වෙනත් පුරුෂයෙකු හා ලිංගිකව එක් නොවුණු කාන්තාවක් චරිතවත් නොවන කාන්තාවක් ලෙසින් ලේබල් කිරීම තුළින් ඇයට මුලු ජීවිතය පුරාවටම ඉතාම කටුක, අමිහිරි අත්දැකීමක් විඳිමින් ජීවිතය ගෙන යාමට සිදුවෙයි.

එසේම දූපත් මානසිකත්වයෙන් මිදී මෙවන් කරුණු සම්බන්ධව අවධානයක් යොමු නොකර විවාහය සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන, එකිනෙකා තේරුම් ගැනීම, අවබෝධයෙන් යුක්ත වීම, දෙදෙනාට දෙදෙනා ගරු කිරීම, කොන්දේසි විරහිතව ආදරය කිරීම, කැපවීම යනාදී දේවල් සම්බන්ධව අවධානය යොමුකර සාර්ථක ජීවිත ගත කරන විවාහක යුවලවල්ද මේ සමාජයේ ජීවත් වෙයි.

ඔබ මේ ලිපිය කියවන තරුණයෙකු නම් ඔබට අසීමිතව ආදරය කරන, සබඳතාවය ආරම්භ වූ දිනයේ පටන් ඔබේ විශ්වාසය සුරකින ලද, ඔබේ සහ ඔබ දෙදෙනාගේ අනාගතය වෙනුවෙන්, සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙසෙන තරුණියකගේ රුධිර පැල්ලම නැතිවීම ඔබට ගැටලුවක් විය හැකිද යන්න දෙවරක් කල්පනා කර බලන්න. මන්ද ඉහත සඳහන් කළ ඕනෑම හේතුවක් නිසා එය ඔබට දක්නට නොලැබෙන්න පුලුවන්.

අනෙක් කාරණය නම් ඔබ මේ වන විටත් පුරුෂයෙකුට රැවටී කන්‍යාභාවය අහිමි කරගෙන සිටින තරුණියක නම් ඔබට ඔබේ මුලු ජීවිතයම දැන් කිසිදු වටිනාකමක් නොමැති එකක් ලෙස හැඟෙන්නට පුලුවන්. එමෙන්ම ඔබට සදහටම වැරදී ඇති ලෙස සිතෙන්නට පුලුවන්. නමුත් ඔබ කරුණාකර එම සිතිවිල්ලෙන් මිදෙන්න උත්සාහ කරන්න. ඔබේ වටිනාකම කිසිඳු අයුරකින් කන්‍යාපටලය මත තීරණය කරන්න එපා. ඔබට එක වරක් ජීවිතය වරදින්න පුලුවන්.නමුත් ඔබ මෙවැනි සිතිවිලි ගොන්නක සිරවී සිටින විට ඔබට තව තවත් වරදින්න පුලුවන්. එලෙස අන්තගාමී සිතිවිලි වලට වහල් වී අවසානයේ රුපියල් ශත වලට තම වටිනාකම සින්න කරන ලිංගික ශ්‍රමික වෘතියේ යෙදෙන කාන්තාවන් කොතෙකුත් අද සමාජයේ සිටිනු දක්නට පුලුවන්. ඔවුන් බොහෝ දෙනෙක් එවැනි තත්ත්වයකට පත්වීමට හේතුව තමන් අසීමිතව ආදරය කළ තරුණයාට තමන් සතු සියල්ල ලබා දීමට ක්ෂණිකව තීරණය කිරීම සහ ඔහුගේ රැවටීමට හසු වූ පසු තමන් කිසිඳු වටිනාකමක් නැති අයෙකු බව හැඟීමයි.

එබැවින් පුරුෂයින්ගේ පවිත්‍රත්වය කිසිවිටෙක පරීක්ෂා නොකරන, කන්‍යාභාවය සම්බන්ධව සැමවිටම ප්‍රශ්න කරන සමාජයක ඔබේ වටිනාකම ගැන ඔබට අවබෝධයක් තිබිම යුතුමයි. ඔබේ ආරක්ෂාව ඔබ සලසා ගත යුතුමයි. එසේම ඔබේ දෙමව්පියන් ලබා දෙන ආරක්ෂාවට අවනත වන්න. එසේම සැමවිටම නිවැරදි තීරණ ගන්න. ප්‍රතික්ෂේප කිරීම ඔබට ඇති අයිතියක් බව සැමවිටම සිතන්න !.

ඔබ කන්‍යාභාවය අහිමි වීම හෝ ඒ ආශ්‍රිත කිසියම් කරුණකින් මානසික වශයෙන් පීඩා විඳින ගැටළුකාරී තත්වයකට පත්වී සිටින අයෙක් නම් මනෝඋපදේශකයෙකු හමුවීමෙන් එම ගැටළුකාරී තත්වයෙන් මිදීම සඳහා නිවැරදි මඟපෙන්වීමක් ලබා ගත හැකිය. පසුගාමී අදහස් වලින් බැහැර වෙන්න. ඔබට සතුටින් ජීවිතය විඳින්න පුලුවන් !.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *