ලංකාවෙන් රුසියාවට කුලී හේවායන් යැවූ ජාවාරම්කරුවන් අත්අඩංගුවට

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස විශ්‍රාමික හමුදා සාමාජිකයින් බඳවා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක ප්‍රධානීන් ලෙස හඳුනාගෙන සිටින විශ්‍රාමික මේජර්වරයෙකු සහ රැකියා ඒජන්සි නියෝජිතයෙකු මිනිස් ජාවාරම්, නීතිවිරෝධී මිනිස් වෙළදාම් සහ සමුද්‍රශිත අපරාධ විමර්ශන කොට්ටාශය මගින් පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගත්තේය.

සැකකරුවන් වාරියපොල සහ දිගන යන ප්‍රදේශවල පිහිටි සිය නිවෙස්වලදී අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන් ඊයේ (18) සවස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල අතර ඊට සම්බන්ධයැයි කියන තවත් පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන සිදුවෙමින් පවතී.

එමෙන්ම ඊට සම්බන්ධයැයි කියන මහනුවර කටුගස්තොට මහාපරිමාණ ඒජන්සියක් පවත්වාගෙන ගිය චතුරංග නමැත්තා මේ වනවිට රුසියාවට පලාගොස් දැනට සැඟවී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

වැඩිදුරටත් අනාවරණය වන පරිදි විශාමික හමුදා සාමාජිකයන් හමුදා කඳවුරුවල නඩත්තු කටයුතු සහ පිරිසිදු කිරීම් සඳහා යැයි පවසා මෙලෙස රුසියාවට යවා ඇති අතර පසුව ඔවුන් සක්‍රීය හමුදා මෙහෙයුම් සඳහා කුලී හේවායන් ලෙස සේවයේ යොදවා තිබේ.

රුසියානු හමුදාව තුළ ශ්‍රී ලාංකිකයන් 500ක් පමණ සක්‍රීය හමුදා මෙහෙයුම් වල නිරතව සිටින බව රුසියානු කුලී හමුදාවෙන් පැන ආ විශ්‍රාමික කෝප්‍රල්වරයෙකු අනාවරණය කර ඇත.

ඔහු විසින් අනාවරණය කරන ලද තොරතුරු මත අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

තොරතුරු හෙළිකළ කෝප්‍රල්වරයා පවසා ඇත්තේ පලා යාමට තැත් කළ අයට වෙඩි තබා හෝ අල්ලාගෙන සිරගත කරන බවයි.

රුසියානු හමුදාවට එක්ව සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට ආරක්ෂක බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ සඳහන් කළේ රුසියානු හමුදාවට විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයින් බඳවාගැනීම මේ දිනවල බහුලව සිදුවන බවය.

ඉන් බොහෝ පිරිසක් සංචාරක වීසා මත රුසියාවට පැමිණ හමුදා සේවයට එක්වන පුද්ගලයින් බව සඳහන් වෙයි.

ශ්‍රී ලාංකිකයින් ද එලෙස සංචාරක වීසා මත පැමිණ රුසියානු හමුදාවට එක්ව සිටින බවට තොරතුරු ලැබී ඇති බව ජනිතා ලියනගේ සඳහන් කළේය.

එහෙත් ඒ පිළිබඳව නිසි තොරතුරු තානාපති කාර්යාලය සතුව නොමැති බැවින් ශ්‍රී ලාංකිකයින් එරට හමුදා සේවයේ කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස තානාපති කාර්යාලය රුසියානු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *