ශ්‍රීලනිප අර්බුධය ගැන මැ. කොමිසමේ ස්ථාවරය කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු හා ලේඛන ඊයේ (18) දිනයේදී එහි සාමාජිකයින් විසින් සාකච්ඡාවට ලක්කර තිබුණු බවට වාර්තා විය.

පසුගිය 08 වනදා පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් එහි දේශපාලන මණ්ඩලය රැස්වී පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා පත්කරගත් අතර මහලේකම් ධුරයේ ක්‍රියා කිරීමට දුමින්ද දිසානායකට බලය පවරා තිබුණි.

මෙම පත්කිරීම් සම්බන්ධ තොරතුරු හා ලේඛන දුමින්ද දිසානායක විසින් මැතිවරණ කොමිසම වෙත භාරදීමෙන් අනතුරුව පක්ෂ වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල නව පත් කිරීම් සම්බන්ධයෙන් කොමිසම හමුවේ විරෝධතා ගොනු කළේය.

සාමාන්‍ය නෛතික වපසරිය සහ ක්‍රියාපටිපාටිය තුළ නිදහස් පක්ෂය තුළ හටගෙන ඇති අභ්‍යන්තර ගැටලු විසදීමට මැතිවරණ කොමිෂන් සභාවට නෛතික බලයක් නොමැති බැවින් පවතින ගැටලු පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් අධිකරණය හරහා විසදාගත යුතු බව එම කොමිසමේ මතය වී ඇත.

කෙසේවෙතත් මේ වන විටත් නිදහස් පක්ෂයේ තනතුරු සහ පාර්ශ්ව සම්බන්ධයෙන් පවතින අර්බුදය අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *