ලොව විශාලතම මහමැතිවරණය අද ඇරඹේ

ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම අදින් (19)ආරම්භ වෙයි.
අද සිට ජුනි පළමු වැනිදා දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, අදියර 7 ක් යටතේ ය.

මිලියනයකට අධික ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාවකදී, විද්‍යුත් ක්‍රමයට ඡන්දය භාවිත කිරීම සඳහා ස්ථාපිත කර ඇති යන්ත්‍ර සංඛ්‍යාව, මිලියන 55 කි.

බිලියන 1.4 කට අධික ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ, මිලියන 969 ක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

2019 මැතිවරණය හා සැසඳීමේදී නව ඡන්ද දායකයින් මිලියන 18 ක් මෙවර ලියාපදිංචි වී තිබේ.

වර්ග කිලෝමීටර් මිලියන 3.3 ක වපසරියකින් යුත් ඉන්දියාවේ, සෑම මිනිස් වාසස්ථානයකට ආසන්නයේම ඡන්ද මධ්‍යස්ථානයක් තිබීම, අනිවාර්ය වේ.

ඒ අනුව එක් ඡන්ද දායකයෙකුගේ ඡන්දයක් වෙනුවෙන් ඊසාන දිග ඉන්දියාවේ අරුනාචල් මලෝගම් ගම්මානයේ ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා තිබීමට විශේෂත්වයකි.

ඊට අමතරව කේරළයේ වනජීවී අභයභූමියක් තුළ සහ ගුජරාටයේ නැව්ගත කළ බහාලුමක් තුළ ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

මැතිවරණ රාජකාරී සඳහා යොදවා ඇති නිලධාරීන් සංඛ්‍යාව මිලියන 15 කි.

18 වැනි ලොක් සභාවට නියෝජිතයින් 543 දෙනෙකු තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආසන 272 ක බලය තහවුරු කරගත යුතුයි.

වත්මන් අග්‍රාමාත්‍ය 73 හැවිරිදි නරේන්ද්‍ර මෝදි භාරතීය ජනතා පක්ෂයෙන් මෙවරත් මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ, තුන්වන ධුර කාලයක් අපේක්ෂාවෙන් ය.

ඔහුගේ ප්‍රබල ප්‍රතිවාදියා බවට පත්ව සිටින්නේ, කොංග්‍රස් පක්ෂ සභාපති, 81 හැවිරිදි මල්ලිකාර්ජුන් කාර්ගි.

2019 වසරේ පැවති මහමැතිවරණයේදී නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ජය තහවුරු කරගත්තේ, ආසන 303 ක් දිනාගනිමින් ය.

මෙවර ආසන 400 ක බලය තහවුරු කරගනිමින්, නරේන්ද්‍ර මෝදි විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගනු ඇති බවට දේශපාලන විචාරකයින් මත පළ කර තිබේ.

2019 මැතිවරණයේදී කේරල ප්‍රාන්තයේ අමේති නුවර සිය අසුනෙන් පරාජයට පත් වූ කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි, මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ එම අසුන ජය ගැනීමේ අරමුණින් ය.

ලොව වැඩිම වියදමක් සහිත මැතිවරණයක් වන ඉන්දීය මහමැතිවරණය සඳහා මෙවර වැය කෙරෙන මුදල, පවුම් බිලියන 12 කි.

එය 2019 මැතිවරණ වියදම මෙන් දෙගුණයකට ආසන්න අගයකි.

දින 44 ක් පුරා පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල, ජුනි 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

(news1st)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *