එක්ස්ප්‍රස් පර්ල් විමර්ශන කඩිනම් කරන්න – උසාවියෙන් පොලීසියට නියෝග

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

ඊයේ (25) නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම විමර්ශනවලට අදාළ කරුණු දැක්වීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර තිබිණි.

එහිදී අදාළ පැමිණිල්ලේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින එම නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව දැනටමත් කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන බවයි.

එම තත්ත්වය යටතේ තවදුරටත් විමර්ශන සිදු කිරීමේ අවශ්‍යතාවය කුමක්දැයි එම නීතිඥවරුන් ප්‍රශ්න කර තිබිණි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී 2021 මැයි 20 වැනිදා ගිනි ගැනීමට ලක්විය.

නෞකාව ගිනිගෙන, පිපිරීවලින් පසු මුදුබත්වන විට නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක්, වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් එහි තිබිණි.

එම ව්‍යසනයෙන් පසු කැස්බෑවුන්, ඩොල්ෆින්, තල්මසුන් ඇතුළු මියගිය මුහුදු ජීවින් රැසක් ශ්‍රී ලංකා වෙරළට ගොඩගැසූ අතර, තෙල් විසිරීමක් සහ වෙරළ දූෂණය වීම දක්නට ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *