කම්කරුවා සූරාකෑමට, ජාතිවාදයට, කාන්තා පීඩනයට, එරෙහිව අපි අරගල කල යුතුයි

රටේ ජනගහනයෙන් සියයට තිහක් දිළින්දන් බවට පත්වෙලා. පවුල් වලින් තුනෙන් එකක් තමුන්ගේ කෑම වේල් අඩු කරලා තියෙනවා. ලක්ෂ පනස් හතක් පවුල්වලින් ලක්ෂ 37ක් සහනාධාර ඉල්ලන තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේ වන විට දරු උපත් ලක්ෂයකින් අඩුවෙලා තියෙනවා. පවුල් ඒකක දෙදරලා විවාහ වීම් අඩුවෙන අතර අනික් පැත්තෙන් දික්කසාද බරපතල ලෙස වැඩිවෙලා තියෙනවා. දරුවෝ පාසල් යන එක අඩු වෙලා. ලක්ෂ දහයක් පවුල් විදුලි සැපයුම විසන්ධි කරලා අන්ධකාර ඉන්නේ. යැයි කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින සැමරුමට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

සම්පූර්ණ කතාව පහළින්

ලක්ෂ 97 ක් විදේශ ගමන් බලපත්‍ර හදන් බලාගෙන ඉන්නවා රට යන්න. මැතිවරණ ගුණ්ඩු ඉස්සරහා වහලා දාන්න හදන්නේ මේ මිනිස්සු මුල් වෙලා තියෙන ඇත්ත ඉරණම. මේ ඔක්කොම ගැටළු අස්සේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමුන්ගේ ගේම් එක ගසමින් තියෙන්නේ. ණය ප්‍රතිව්‍යූහගතකරණය මුවාවෙන් රටේ ආර්ථිකය නැගිටින්න දෙන්නැතුව තව තවත් තමුන්ගේ පාලනයට ගන්න කටයුතු කරමින් තිබෙනවා. රාජ්‍ය ආයතන කෑලි කෑලි වලට කඩලා විකුණන්න කටයුතු කරමින් තිබෙනවා විශ්‍රාම වැටුප අහෝසි කරන්න කටයුතු කරන්න, විදුලි බල මණ්ඩලය සම්පූර්ණයෙන්ම පුද්ගලීකරණය කරන්න සැලසුම් කරලා තියෙනවා.

සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස සිංහල වචන හරඹයක් කරනවා මිසක් මේ කිසිදු ප්‍රශ්නයක් පිළිබඳව ඔහුට දැක්මක් නෑ. ජාතික ජන බලවේගය දිගටම ඉන්නෙ සටන් මොට කරන තැන. අරගලයෙන් ආපු ජනතාවගේ සටන්කාමීත්වය මේ පක්ෂ මැදිහත් වෙලා මොට කරපු එකේ ප්‍රතිඵලය අද කැම්බල් පිටියේ පොදු ජනපෙරමුණට මැයි රැළියක් පැවැත්වීමට හැකියාව ලැබීමෙන් පැහැදිලි වෙනවා.

IMF මර උගුල ගැන විතරක් නෙවෙයි ඉන්දියානු විජිතකරණය මේ වෙලාවේ අනිවාර්යෙන්ම මතු කළ යුතු ප්‍රශ්නයක්. ඉන්දියාව සියලුම⁣ කේෂ්ත්‍රවලට තමන්ගෙ ප්‍රාග්ධනයේ බලය ව්‍යාප්තකරමින් ඉන්නවා. ආර්ථික, දේශපාලන, සංකෘතික සියලුම අංශ ග්‍රහණය කරගනිමින් ඉන්නවා. තෙල්, විදුලි බල පද්ධතිය, වරාය, ගුවන්තොටුපොල, ඉඩම්, ස්වභාවික සම්පත් සියල්ල අදානිලා අම්බානිලා කොල්ලකන්න පටන් අරගෙන තියෙනවා. නමුත් සියලුම දේශපාලන ව්‍යාපාර ඒව නොදැක්ක වගේ ඉන්නවා. ඉතිහාසය අමතක වෙන ලෙඩක් තියෙන ජාතික ජන බලවේගයත් එහෙමයි. මේ ළඟදි ටිල්වින් කියනවා 88/89 ඉන්දියානු මැදිහත්වීම පොඩි ප්‍රශ්නයක් කියලා. නෑ ඒක එහෙම පොඩි ප්‍රශ්නයක් නෙවෙයි.

මේ සියලු අර්බුදවලට උත්තර දිනාගන්න පුළුවන් ජනතා බලයකින් විතරයි. දියවන්නාවෙන් එළියට බලයක්. ඒක තමයි මේ වෙලාවෙ සටන් පාඨය. සමහරු අහයි ඕක ප්‍රායෝගිකයිද කියලා. ප්‍රායෝගිකයි තමයි. ගොවි අරගලය ආවා 2022 පොහොර කප්පාදුව වෙලාවෙ. ගුරු අරගලය ආවා සියලු ගුරුවරු පාරට බැස්සා. කොතලාවල පනකට එරෙහි අරගලයත් එළියෙ බලය පෙන්නපු අවස්ථාවක්. මේ හැම එකක් ම ජයග්‍රහණ ගෙනල්ල තියෙනවා. මේ හැම අරගලයකම ප්‍රතිඵලය තමයි ගෝඨා එලවපු ගෝල්ෆේස් අරගලය. සමාජයට ජයග්‍රහණ ගෙනාවෙ එළියෙ බලය විතරයි. අපි අවධාරණය කරනවා මේ කරුණ, එළියෙ බලයට නායකත්වයක් අවශ්‍යයි. නිර්ධන පංති ව්‍යාපාරය නායකත්වය ගත යුතුයි. ⁣ගෝල්ෆේස් අරගලය තුළ මේක තිබ්බෙ නැති නිසා තමයි අරගලය සීමාවක හිරවුණේ.

කම්කරුවා සූරාකෑමට, ජාතිවාදයට, කාන්තා පීඩනයට, එරෙහිව අපි සමාජවාදය වෙනුවෙන් වූ අරගලයක් කරන්න ඕනි. ජනතා බලයේ අවසන් ඉලක්කය ඒක.
දැන් සමාජය වෙනස් කරනවා කියල හැමෝම මැතිවරණ තොරොම්බල් කරනවා. නමුත් ජනතා බලය ගොඩනැගෙන්නෙ ඡන්දවලින් නෙවෙයි. ඉස්සරහට මැතිවරණ වෙයි, ඔව් ඒවටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ සටන් පාඨත් අරගෙන ඉදිරිපත් වෙනවා.

ඉන්දියානු ව්‍යාප්තවාදයට, IMF කොන්දේසිවලට මේ රටේ කම්කරුවො නවන්න බෑ. වාමාංශිකයො නමන්න බෑ. අපි මහජන කවුන්සිල්, ජන අරගල ව්‍යාපාරය හරහා ජනතාව සංවිධානය කරනවා. ඉදිරි දශකය සමාජවාදයේ දශකය. සමාජවාදී විප්ලවයට ජයවේවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *