අනධ්‍යයන කාර්‍ය මණ්ඩල විරෝධතාවට පොලීසියෙන් ජල ප්‍රහාර

කොළඹ බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් අද (13) පැවැත්වූ උද්ඝෝෂණයක් විසුරුහැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

වසර 08ක් පුරා පවතින වැටුප් කප්පාදුව, මාසික හිලව් දීමනාව වැනි ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම උද්ඝෝෂණය පවත්වා තිබුණි.

දවස් 12ට පෙර සිට සියලු විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කළේය.

එම වැඩ වර්ජනයට සමගාමීව අද උදෑසන සිට මෙම විරෝධතාව පවත්වා ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව අදාළ විරෝධතා පා ගමන සංවිධානය කළේය.

අදාළ විරෝධතාවය සම්බන්ධයෙන් මිරිහාන මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් කළ ඉල්ලීමක් අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කිරීමට කටයුතු කර තිබිණි.

අද දින සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුලා විද්‍යාල, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, සමුද්‍ර දේවී බාලිකා විද්‍යාල, ශාන්ත ජෝන් පිරිමි විද්‍යාලය, සුජාතා බාලිකා විද්‍යාලය යන විද්‍යාලවල විභාග මධ්‍යස්ථාන ලෙස ද අනුලා විද්‍යාලය විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රධාන මාර්ගය ආසන්නයේ පවත්වාගෙන යනු ලබන හෙයින් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කරුණු සලකා බලා මෙම විරෝධතා පා ගමන තහනම් කරමින් ආඥාව නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *