ඊශ්‍රායලයේ ජනතාව නෙතන්යාහුගේ නිවෙස වටලයි

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6 දෙනකු ගාසා තීරයේදී ඝාතනයට ලක්වීමෙන් කුපිත වූ එරට ජනතාව පෙරේදා පස්වරුවේදි බටහිර ජෙරුසලම් නුවර පිහිටි අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවෙස වට කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පොලිස් මාර්ග බාධක කඩා බිඳ දමමින් ඔහුගේ නිවෙස පිහිටි පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කළ දහස් සංඛ්‍යාත ජනතාව පාලනය කිරීමට මැදිහත්වීමෙන් විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුමක් ද හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.

මේ ගැටුම අතරතුර විරෝධතාකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වාර්තා කළේය.

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හා පලස්තීන යුද සිරකරුවන් හුවමාරු කරගැනීමට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා පසුගිය දින කිහිපය පුරා ඊශ්‍රායලය පුරා විරෝධතා පැතිරී ගිය අතර, පසුගියදා එරට විශාලතම කම්කරු සංගමය ද වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබිණි.

ගාසා තීරයේදී මියගිය ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති, බෙන්ජමින් නෙතන්යාහු සිය රට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

හමාස් සංවිධානය පවසා ඇත්තේ සටන් විරාමයක් ඇති කර නොගත හොත් දැනට ඔවුන් යටතේ සිටින අනෙකුත් ප්‍රාණ ඇපකරුවන් ද මරා දමන බවයි.

ඊශ්‍රායල අගමැතිවරයා ජාතිය අමතමින් අවධාරණය කර සිටියේ, තම හමුදාව, හමාස් සංවිධානය සමඟ සාකච්ඡා කිරීමේදී උපාය මාර්ගික වශයෙන් වැදගත් බිම් තීරයක් වන ගාසා හි ෆිලඩෙල්පි කොරිඩෝව පාලනය කළ යුතු බවයි.

ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීම පිළිබඳ ගැටලු හේතුවෙන් එක්සත් රාජධානිය ඊශ්‍රායලයට ආයුධ අලෙවි කිරීම අත්හිටුවා ඇත.

එමෙන්ම, ඊශ්‍රායලයට එරෙහිව එල්ල වන ජාත්‍යන්තර පීඩනය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

තම ආදරණීයයන් නැවත ගෙන්වා ගැනීමට අපොහොසත් වීම නිසා ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සංවිධාන කළ විරෝධතාවලට දහස් සංඛ්‍යාත පිරිසක් ඊයේ සහභාගී වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *