ක්ලමථය නිසා දියවැඩියාව හැදෙන්න පුලුවන්ද ?

ක්ලමථය යනු පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය සම්බන්ධව පවතින අක්‍රමතාවයකි. විවිධ අවස්ථා වලදී පුද්ගලයාට මුහුණපාන්නට සිදුවන සිදුවීම් සඳහා එක් එක් තැනැත්තා මුහුණදෙනු ලබන්නේ ඔවුන්ට ආවේණික විඳදරා ගැනීමේ ශක්තීන් මතයි. පුද්ගලයා තුළ ස්වභාවයෙන්ම රෝග මර්ධනය හා රෝග වලට මුහුණදීමේ ශක්තියක් පවතින්නා සේම ක්ලමථය වැනි මානසික සෞඛ්‍ය වෙනස්වීමේ අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීමේ ශක්තියක්ද පවතී.

පුද්ගලයාට එම ශක්තිය ඉක්මවා යාම තුළ ඇතිවන මානසික පීඩනය සඳහා මුහුණදීම අපහසු වේ.

ක්ලමථය යනු පුද්ගලයාට ඇතුවත් බැරි නැතුවත් බැරි මනෝමූලික සංකල්පයක් ලෙස දැක්විය හැකිය. ඊට හේතුව වනුයේ යම් ක්ලමථකාරී බලපෑමක් තුළ සිටින පුද්ගලයා ඉන් මිදීමට කටයුතු කිරීම තුළ යහපත් ප්‍රතිඵලද උදාකරවීමයි. උදාහරණ ලෙස විභාග කාල සීමාවක් අතරතුර විභාගය අසමත් වේ යැයි, ලකුණු ප්‍රමාණවත් නොවේවි යැයි යනුවෙන් ඇතිවන පීඩනකාරී සිතිවිලි නිසාම පාඩම් කටයුතු සිදු කරයි. ඒ හේතුවෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.

ක්ලමථය සම්බන්ධව විමසා බැලීමේදී යහපත් ප්‍රතිඵල වලට සාපේක්ෂව අනර්ථකාරී ප්‍රතිඵල බහුලව පවතී. එනම් ක්ලමථය නිසා ඍණාත්මක බලපෑම් ඇති වීමේ සම්භාවීතාවය වැඩිය.

විශේෂයෙන්ම ක්ලමථයේ දීර්ඝකාලීන බලපෑම් සම්බන්ධව අවධානය යොමු කිරීමේ දී දියවැඩියාව , අධි රුධිර පීඩනය , රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම, කාංසා තත්ත්ව ඇති වීම, විෂාදය, ගැස්ට්‍රයිටීස්, ඇදුම, පිළිකා සහ චර්ම රෝග යනාදී රෝගාබාධ ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.

මෙම සටහනෙන් අවධානය යොමු කරනු ලබන්නේ ක්ලමථය සහ දියවැඩියාව අතර පවතින සම්බන්ධය පිළිබඳවයි.

ක්ලමථය ඇති වීමට බලපානු ලබන සාධක පහත පරිදි දැක්විය හැකිය.

  • එදිනෙදා ජීවිතයේ සිදුවීම්.(හදිසි අසනීපවීම්, මාර්ග තදබදය ආදිය)
  • රාජකාරී ස්ථානයේ පවතින ක්ලමථකාරී බව.( අධික කාර්‍යබහුල වීම, නිරන්තර සේවක ගැටළු, ආදිය)
  • සමාජමය ක්ලමථ කාරක.(පවුල හා සාමාජීය ගැටළු)
  • බරපතල විපත්තිදායක අත්දැකීම් .( ස්වභාවික ව්‍යවසන , යුධමය වාතාවරණ)
  • ජීවන සිදුවීම්. ( විවාහය, ප්‍රසූත කාලය හා පශ්චාත් ප්‍රසව කාලය, සමීපතමයන්ගේ අහිමිවීම්)
  • අන්තර් පුද්ගල සාධක .(විශ්වාස සහ ආකල්ප)

මෙම ඕනෑම සාධකයක් හෝ කිහිපයක් නිසා ඇතිවන සාමාන්‍ය ක්ලමථය ඉක්මවා යාම තුළ එය කළමනාකරණය කර ගත නොහැකි වේ. එනම් දිගු කාලීනව මෙම පුපුරා යාම් වලට පුද්ගලයා මුහුණදීම නිසා පුද්ගලයා දීර්ඝ කාලයක් ක්ලමථය සමඟ ජීවත් වීමට පටන් ගනී. දිගුකාලීන ක්ලමථය නිසා ක්ලමථ හෝර්මෝන ( කෝටිසෝල් සහ ඇඩ්‍රිනලීන් ) නිදහස් වේ. එමනිසා ශරීරයේ ඇති ඉන්සියුලින් හෝර්මෝනය නිශේධනය වේ. ඉන්සියුලින් යනු ශරීරයේ ස්වභාවිකවම රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය කරන්නා වූ හෝර්මෝන යයි. එම හෝර්මෝනය නිශේධනය වීම මඟින් ස්වභාවික රුධිරගත ග්ලූකෝස් පාලනය වන යාන්ත්‍රණයට හානි වන නිසා රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි වේ. දිගු කාලීනව මෙම ක්‍රියාවලිය සිදුවීම නිසා පුද්ගලයා දියවැඩියා රෝගී අයෙකු බවට පත්වේ.

මේ අයුරින් සිදුවන ස්වභාවික යාන්ත්‍රණය බිඳවැටීම තුළ විෂාදයෙන් පෙළුණු රෝග ඉතිහාසයක් පවතින පුද්ගලයන්, රාජකාරීමය වශයෙන් අධික ක්ලථකාරී පසුබිමක සිටින පුද්ගලයන්, ජීවිතයේ නිරන්තරයෙන්ම විපත්තිදායක අත්දැකීම් විඳින පුද්ගලයන් සේම ක්ලමථය ඇති වන විට ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකම් දක්වන්නන් වීම එනම් අධිකව ආහාර ගැනීම, ආහාර නොගෙන සිටීම, අධික නින්ද, ශාරීරික ක්‍රියා අඩු කිරීම වැනි හැසිරීම් දක්වන පුද්ගලයන් සඳහා ප්‍රභල බලපෑමක් එල්ලකළ හැකිය. එසේම ඔබ දැනටමත් දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙකු නම් ක්ලමථය නිසා,

  • ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය ලෙස පවත්වා ගත නොහැකි වීම තුළ හදවත් රෝග ඇති වීම.
  • එදිනෙදා කටයුතු වලට බාධා වන පරිදි දුර්වල වීම.
  • රුධිර පීඩනය වැඩි වීම හා හදවත් ස්පන්දනය වැඩි වීම ආදීයට ලක්විය හැකිය.
  • මේ ඔස්සේ විෂාදය නම් උග්‍ර මානසික රෝගය වැළඳීමේ අවදානමද ඉතාම වැඩි වේ. එම නිසා ඔබ සැම විටම ක්ලමථය සුළුකොට තැකීමෙන් වැළකීමට වග බලා ගත යුතුය.

ඔබ කුමක් හෝ හේතුවක් නිසා දිගින් දිගටම ක්මථකාරී අත්දැකීමක් විඳිමින් සිටින අයෙකු නම් උපදේශන සේවාවකට යොමු වන්න. එහිදී ඔබේ ක්ලමථකාරී ස්වභාවය සඳහා උපදේශනය පමණක් ප්‍රමාණවත් නොවන බවට හැඟී ගියහොත් ඔබව මනෝවෛද්‍යවරයකු වෙත යොමු කරනු ඇත.

එසේම ඔබ දියවැඩියා රෝගයෙන් පීඩා විඳින අයෙකු නම් අදාල ඖෂධ නිසිපරිදි ලබා ගැනීමටත් මානසික සෞඛ්‍ය යහ පැවැත්ම සඳහා මනෝඋපදේශනය සහ අවශ්‍ය අවස්ථාවන්හිදී මනෝවෛද්‍ය ප්‍රතිකාර සඳහාත් යොමුවන්න. ඒ මඟින් ඔබට සිදුවිය හැකි බරපතල හානි රැසකගෙන්ම ආරක්ෂා වී සතුටින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *