“ජනතාවට පීඩාකාරී IMF බදු සූත්‍රය මේ රජය වෙනස් කළ යුතුයි”- සජිත් කියයි

වර්තමාන රජය මැදිහත් වී ජනතාව පීඩාවට පත්කරන අයි.එම්.එෆ්. බදු සූත්‍රය වෙනස් කළ යුතු බව හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී (ඔක්. 17) පැවසීය.

අයි.එම්.එෆ්. රාමුව තුළ ජනතාව පිට පටවන බර ලිහිල් කරන නව ගිවිසුමකට වත්මන් රජය යා යුතු බව ත් එවැනි ගිවිසුමක් හරහා ජනතාවගේ පිට පටවා ඇති බදු බර ලිහිල් වන බව ත් හිටපු විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කර බදු බර ලිහිල් කරන නව ගිවිසුමකට යන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ත් එවැනි වැඩසටහන්වලට සහාය ලබා දීමට තමා ද සූදානම් බව ත් සමගි ජන බලවේගයේ නායකයා කීවේ ය.

එමගින් ආර්ථික ස්ථාවරත්වය ඇතිවන බව ත් හිටපු විපක්ෂ නායකවරයා පැවසීය.

සියයට 42ක කැමැත්තෙන් බිහිවූ වත්මන් ජනාධිපතිවරයාගේ වගකීම බදු බර අඩු කරන ගමනකට යෑම බව ත් මෙම බදු බර හේතුවෙන් ජන ජීවිත කඩාකප්පල් වී ඇති බව ත් ප්‍රේමදාස මහතා පැවසීය.

බදු නිසා රටක් ඉදිරියට නොයන බව ත් මෙරට බුද්ධි ගලනය වර්ධනය වී ඇති බව ත් කී හිටපු විපක්ෂ නායකවරයා, විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් රට අතහැර යන මේ මොහොතේ දරාගත නොහැකි බදු සූත්‍රය සංශෝධනය කර සහනදායී බදු සූත්‍රයකට යා යුතු බව ඔහු තවදුරට ත් ඔහු සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *