”නිවාසාන්තර ක්‍රීඩා උත්සව දැන්ම එපා” – අධ්‍යාපන ඇමති

පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව, සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පවත්වන්නැයි, අධ්‍යාපන අමාත්‍ය යළිත් අවධාරණය කර තිබේ.

පවතින අධික උණුසුම් කාළගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේය.

මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් ළමුන් දිවා කාලය තුළදී ක්‍රීඩා පිටි ආශ්‍රිතව හා එළිමහනේ නොතබන්නැයි මීට පෙරද අධ්‍යාපන අමාත්‍යංශය හා සෞඛ්‍ය අංශය විසින් පාසල් මෙන්ම දෙමව්පියන් වෙතද දැනුම්දී තිබිණි.

කෙසේ වුවද අද (18) සිට තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණ තත්ත්වය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා තිබේ.

අදාළ නිවේදනයට අනුව, වයඹ, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර පළාත්වල උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් දැඩි ලෙස විමසිලිමත්විය යුතු ය.

ඊට අමතරව, මොණරාගල, මන්නාරම, රත්නපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිති.

එම ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මඟින් දැනුම් දී තිබේ .

මේ අතර, බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල මාතර දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක අද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මාධ්‍ය වෙත පැවසුවේ එළඹෙන 22 වනදා සිට දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය.

නමුත් එය පවතින උණුසුම් කාලගුණය පහව යාමට තරම් බලපෑමක් නොවන බව ඔහු පැවසුවේ ය.

එමෙන්ම අප්‍රේල් 05 වැනිදා සිට 15 වැනිදා තෙක් හිරු මුදුන්ව පවතින බැවින් උණුසුම ඉහළ යා හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *