ජීවිතේ සතුට වැඩි කරන මන්ත්‍රයක්!

අපි හරිම කැමතියි හිනා වෙන්න. ඒ වගේම මනුෂ්‍යයින් වශයෙන් අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ සතුටින් ඉන්න. ලෝකේ මිනිස්සු සතුටින් ඉන්න විවිධ ක්‍රම හොයා ගන්නවා. කෙනෙක් පොතක් කියවීම තුළින් පුදුමාකාර මානසික සතුටක් ලබද්දි තව කෙනෙක් travel කරලා ජීවිතේ සතුට අත්විඳිනවා. ඒ වගේම තව කෙනෙක් කවියක්, නිසඳසක්, ගීතයක් ලියලා සතුටක් ලබද්දී තව කෙනෙක් photography, painting, designing, cooking වගේ දෙයකින් තමන්ට සතුටු විය හැකි මොහොතවල් නිර්මාණය කර ගන්නවා. ඒ වගේම තවත් කෙනෙක් වැඩියෙන්ම සතුටු වෙන්නේ තමන්ගේ පවුල එහෙමත් නැති නම් යාළුවෝ එක්ක කාලය ගත කරන අවස්ථාවල.

මේ නිසාම ලෝකයේ ‘me time’, ‘solo date’, ‘ family time’ වැනි සංකල්ප බිහිවෙන්නේ තමන් වෙනුවෙන් කාලයක් වැය කිරීම හරහා සතුටක්, සැනසීමක් ලබන්න.

සතුට කියන්නේ මනුෂ්‍යයින්ට පමණක් විඳින්න පුලුවන් හැඟීමක් නෙමෙයි. තිරිසන් සතුන් පවා කැමතියි සතුටින් ඉන්න. විශේෂයෙන්ම අපි ඇති කරන සුරතලුන් හුදෙකලාව ඉන්න හරිම අකමැතියි. ඒ නිසා තමයි අපි ගෙදර ඉන්න වෙලාවට එයාලා අපි එක්කම ගැවසෙන්නේ. අපි කොහේ හරි ගිහින් එද්දි කාලෙකින් දැක්කා වගේ හිනා වෙවී උඩ පනින්නේ.

අපිට එදිනෙදා ජීවිතයේදි විවිධ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. එහිදී සතුටට අමතරව දුක, කලකිරීම, තරහව, වගේ හැඟීම් ඇතිවෙනවා. නමුත් ඒ හැඟීම් ඒ අදාල මොහොතට හෝ සිද්ධියට පමණක් සීමා වූ හැඟීම්. එම හැඟීම් එක්ක දිගින් දිගටම අපි ජීවත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම එහෙම අවස්ථාවල අපි අපේ mood එක වෙනස් කරගන්න නොයෙක් දේවල් කරනවා.

නමුත් මේ කෙටි සටහන තුළින් සාකච්ඡා කරන්නේ ඒ විදියට mood එක වෙනස්කර ගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නොමැතිව සතුට, හිනාව අමතක කරලා දුක , කඳුලු සහ කලකිරීම තුළම ඇලෙමින් ගිලෙමින් ඉන්න තත්ත්වයක් සම්බන්ධවයි.මේ තත්ත්වය මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ විෂාදය / Depression නමින්. මෙය Psychitic Disorder එහෙමත් නැතිනම් උග්‍ර මානසික රෝග යටතට ගැනෙන මානසික ව්‍යාධීයක්. ඒ වගේම මේ සඳහා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍යයි. මෙහිදී පුද්ගලයා අධික වශයෙන් දුකට, කලකිරීමට පත්වීම, හැඬීම සිදු වෙනවා. ඒ වගේම නින්ද නොයෑම, කෑම අරුචිය, ඇඟපත වේදනාව, නින්දෙන් භය වීම, කාංසාමය තත්ව වර්ධනය වීම සහ සෑම සිදුවීමකම ඍණාත්මක ස්වභාවය විතරක්ම දකින ස්වභාවයට පත්වෙනවා. තමන් තනිවී සිටින බව, තමන්ව කිසි කෙනෙක්ට නොතේරෙන බව, තමන් පරාජිත බව, තමන්ගේ ජීවිතයෙන් ඵලක් නැති බව මොවුන්ට නිතර සංජානනය වන අතර උග්‍ර විෂාධී මට්ටමට පැමිණි විට සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමත් සිදු කරයි.

මෙලෙස සියදිවි නසාගැනීමේ සිද්ධීන් කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය සහ ප්‍රවෘත්ති ඔස්සේ අපට අහන්න දකින්න ලැබෙන අතර එය හරිම අභාග්‍යසම්පන්න තත්ත්වයක්. එම සිද්ධි සම්බන්ධව අධ්‍යයනය කිරීමේදී බොහොමයක් දෙනා විෂාදීය තත්ත්වයෙන් දීර්ඝ කාලයක් පීඩා විඳි අය බවත් කිසිදු ප්‍රතිකාරයක් ලබා නොගෙන සිටි අය බවත් අනාවරණය වේ. මේ අතරින් සමහරක් පුද්ගලයින් සියදිවි නසාගැනීම සම්බන්ධව විවිධ පූර්ව නිවේදන ව්‍යංගයෙන් ( සමාජ මාධ්‍ය වලට විවිධ සිතුවිලි ඵල කිරීම) හෝ නිකුත් කර ඇති නමුත් අවාසනාවට ඒ බව හඳුනාගැනීමට, අවබෝධ කර ගැනීමට සමීපතමයින්ට හැකියාවක් හෝ අවබෝධයක් තිබී නැත.

වර්තමානය වන විට ජංගම දුරකථන, අන්තර්ජාල ක්‍රීඩා වැනි දේට අනවශ්‍ය තරම් යොමු වීම හා ඇබ්බැහි වීම තුළ සිය සමීපතමයන්ගේ සියුම් වෙනස්වීම්, හැසිරීම් රටා වල වෙනස්කම් සම්බන්ධව අවබෝධයක් නැතිව යයි. ඔවුන්ගේ වෙනස්වීම් නිරීක්ෂණයට ලක් නොවෙයි. එය සමාජයක් වශයෙන් අත්විඳිනු ලබන ඉතාම කණගාටුදායක තත්ත්වයක් .

මනුෂ්‍යයක් වශයෙන් ඔබට ඔබගේ පවුලේ සාමාජිකයෙකු, ඔබේ සමීපතමයෙකු, ඔබේ රාජකාරී ස්ථානයේ සිටින අයෙකු, මේ ආදී ඕනෑම අයෙකු නිතරම දුකින්, කලකිරීමෙන් සිටිනු නිරීක්ෂණය වෙයි නම්, වෙනදා මෙන් ප්‍රසන්නව පිරිසිදුව නොමැතිව ඇඳුම් පැලඳුම් පවා අපිළිවෙලට පවතී නම්, ජීවිතය එපා වීම සම්බන්ධව විවිධ දේවල් කියනවා නම් ඔහුට හෝ ඇයට හොඳින් සවන්දෙන්න. අවධානය දෙන්න. ඔහුගේ හෝ ඇයගේ වෙනස්වීම් සම්බන්ධව පවුලේ අයව හැකිනම් දැනුවත් කරන්න. ඔහුට ඇයට ඔවුන්ගේ වෙනස්කම් සම්බන්ධව අවබෝධයක් ලබා දී වියහැකි දරුණුම සිදු වීම් වලින් වැළකීම පිණිස මනෝ වෛද්‍ය වරයකු කරා රැගෙන යාමට උත්සාහ කරන්න. අවම වශයෙන් මනෝ උපදේශකවරයෙකු කරා හෝ රැගෙන යාමට , යොමු කිරීමට උත්සාහ කරන්න.

එසේම මේ ලිපිය කියවන ඔබට ඉහත කී මානසික තත්ත්ව හා රෝග ලක්ෂණ පවතී නම් වහාම මානසික රෝග වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වන්න. මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබන අතරවාරයේ උපදේශන සැසි සඳහාද යොමු වන්න. ඒ තුළින් සංයම අභ්‍යාස, CBT, වැනි ක්‍රමශිල්ප පුහුණු කිරීම සහ අනෙකුත් මනෝ ප්‍රතිකාර භාවිතා කිරීම තුළ ඔබට අමතකව ගිය සතුට සිනහව ඉක්මනින්ම ලබා ගැනීමේ හැකියාව පවතී. ඒ තුළින් ඔබට සැනසිලිදායක මනසක් සහ අහිමිව ගිය සතුට සහිත නීරෝගී ජීවිතයක් නැවත් ලැබෙනු ඇත.

සතුට යනු පරම ධනයයි. ඒ නිසා සැමවිටම සතුට ඔබ තුළ තියාගන්න උත්සාහ කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *