රාජ්‍ය සේවය – ක්ෂේත්‍ර රැසක් අද සහ හෙට ලෙඩින්

රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති 200 කට අධික සංඛ්‍යාවක් අද(08)ලෙඩ නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළැඹ තිබේ.

මේ අතර, දිවයින පුරා ග්‍රාමසේවා වසම් 14,022 ක සේවය කරන 12,000කට ආසන්න ග්‍රාම නිලධාරීන් ද ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පලකර ඇත.

ලංකා ගුරු සංගමයේ භාණ්ඩාගාරික තරංග ගොන්සාලුගේ පෙන්වා දෙන්නේ අද සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කලත් හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි.

කෙසේවෙතත් මව්පියන්ගේ සහාය ඇතුව ඉදිරි සතියේ පාසල් කටයුතු පවත්වාගෙන යන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය, විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

එහි ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, ක්‍රියාත්මක වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් එම තීරණය ගත් බවයි.

ඒ අනූව බාධාවකින් තොරව පාසල්වල කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ද ලේකම්වරිය සඳහන් කළා ය.

මේ අතර අද සහ හෙට ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තමන් සහභාගී නොවන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත ප්‍රකාශ කළේ, වැඩවර්ජන කිරීම හරහා සිදුවෙන්නේ රෝගී ජනතාව අපහසුතාවට පත්වීම බවයි.

මේ අතර දිවයින පුරා පිහිටි 4700 කට අධික තැපැල් හා උප තැපැල් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන තැපැල් සේවකයින් 20,000 කට අධික පිරිසක්ද වැඩවර්ජනයක් අරඹා තිබේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ, බඳවා ගැනීම් සහ ස්ථිර නොකිරීම මෙන්ම උසස් වීම් ලබානොදීම ඇතුලු ගැටලු මුල් කරගනිමින් වර්ජනය ක්‍රියාත්මක බවයි.

මේ අතර, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 69 කි.

මාසික හිලව් දීමනාව ඉහළ නැංවීම හා 15% ක වැටුප් කප්පාදුවට විසදුම් දෙන්නැයි ඉල්ලා ඔවුන් වැඩවර්ජනයක නිරත වෙයි.‍

රජයේ මිනින්දෝරු නිලධාරින් ආරම්භ කළ අකුරට වැඩ කිරී‍මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයද අද 26 වැනි දිනයටත් ක්‍රියාත්මක වෙයි

ඒ අනුව ඔවුන් ඉඩම් පිඹුරු සහතික කිරීමෙන් හා සංවර්ධන කමිටු රැස්වීම් සඳහා සහභාගි නොවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *