අනුරගෙත් මාධ්‍ය සංදර්ශන විතරයි! දැන්වත් විපක්ෂ මානසිකත්වයෙන් මිදෙන්න! හිස් ෆයිල් තියාගෙන හිටියා ඇති! පොහොට්ටු මහලේකම් අනුරට දෙසයි

සුළුතරයකින් හෝ ජනාධිපති වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මේ වන විට පූර්ණ බලය ඇති බැවින් වහාම යම්කිසි තැනක වරදක් වී ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2024.09.30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

“මුලින්ම පහුගිය ජානාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මැතිතුමා විශ්වාස කරලා එතුමා වෙනුවෙන් ඡන්දය දීපු මේ රටේ සියලුම ඡන්දදායකයින්ට පක්ෂයේ අවංක ආදරය ස්තූතිය පිරිණමනවා.
අපි පක්ෂය හැටියට තීන්දුවක් අරගෙන තිබෙනවා පසුගිය දවස්වල ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කරන්නත්, නැවත ශක්තිමත්ම කණ්ඩායම ඉඳලා නැවත ශක්තිමත්ම පක්ෂය විදිහට නැගිසිට මැතිවරණයට මුහුණ දෙන්නත් ඉන් ජයග්‍රහණය කරන්නත් තීරණයක් අරගෙන ඒ අනුව අපි කටයුතු කරනවා.

පහුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ හිටියේ විපක්ෂයේ. විපක්ෂයේ ඉන්නකොට ඔවුන් විවිධ චෝදනා කළා දේශපාලඥයින්ට සහ පැවති රජයට. ප්‍රවෘත්ති සාකච්ඡා තියලා ඔවුන් විවිධ චෝදනා එල්ල කළා. නමුත් දැන් තත්වය වෙනස්. ඔවුන් එදා විපක්ෂයේ ඉඳලා මාධ්‍ය සංදර්ශන තියලා චෝදනා එල්ල කළාට අද සුළුතරයකින් හරි ජනාධිපති බවට පත්වෙලා සිටින්නේ ඔවුන්ගේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා. එතුමා ජනාධිපති වුණාම මේ රටේ ආරක්ෂක හමුදා, පොලිසිය මේ සියලු නිතිය ක්‍රියාත්මක වන ආයතන එතුමාගේ යටතේ කටයුතු කරන්නේ. තවදුරටත් මාධ්‍ය සංදර්ශන තියලා ජනාතාවට මාධ්‍ය සංදර්ශන පැවැත්තුවාට වැඩක් නැහැ. ඔවුන් මේ රටේ ජනතාවට දිගින් දිගටම කියා සිටියේ මේ රටේ දේශපාලඥයෝ හොරකම් කරනවා, මේ රටේ වංචා දූෂණ වෙනවා කියලා. හැබැයි අපි දකිනවා පහුගිය කාලයේ ඒ මාධ්‍ය සංදර්ශන පවත්වපු පුද්ගලයෝම රාජ්‍ය බලය ලැබිලා, රටේ සියලු බලතල ඔවුන් සමඟ තියාගෙනත් නැවතත් මාධ්‍ය සංදර්ශන තියලා පරණ දේම කරනවා.

ආණ්ඩු පක්ෂයේ සිට ඔබලාට මාධ්‍ය සංදර්ශන තිබීම නොවේ කළයුත්තේ, වහාම යම්කිසි තැනක වරදක් , හොරකමක් වෙලා තිබෙනවානම් ඒ පුද්ගලයින්ට එරෙහිව අදාළ පැමිණිලි සිදුකරලා පොලිස් විමර්ශන කර ඔවුන්ව අත්තඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. පහුගිය කාලයේ ඔවුන් රාජපක්ෂලා හොරකම් කළා, උගන්ඩාවට මුදල් විශාල ප්‍රමාණයක් යැව්වා කිව්වා. කරුණාකරලා ඒ අදාළ සාක්ෂි සොයලා වහාම විමර්ශන ඒකකයක් දාලා මේ පිළිබඳව සොයන්න. කරුණාකරලා දැන්වත් විපක්ෂයේ කාර්ය භාර්යයෙන් මිදිලා ආණ්ඩු පක්ෂයේ කාර්ය භාර්යයට එන්න.

අපි තවත් ප්‍රවණතාවයක් දකිනවා මාධ්‍ය සංදර්ශන හරහා රාජ්‍ය නිලධාරීන්ට චෝදනා කිරීමේ ප්‍රවණතාවයක්. ඔබතුමන්ලාට රජයේ බලතල ලැබිලා තිබෙනවා , ඒ නිසා රජය කරගෙන යෑමේ වගකීම තිබෙන්නේ ඔබතුමන්ලාට. ඒ වගකීම කරන්න බැරිනම් බෑ කියලා ඉවත්වෙනවා මිසක් අපිට මෙය කරන්න බැරි රාජ්‍ය නිලධාරීන් නිසා කියලා බොරුවට ඒ වගකීමෙන් මිදෙන්න දරන උත්සහයක් ද කියන සැකය මේ වන විට අපිට ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා කරුණාකරලා ඔබලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා බොරුවට මාධ්‍ය ඉදිරියට ඇවිත් රාජ්‍ය නිලධාරීන්ගේ නම් කියලා, තනතුරු කියලා රාජ්‍ය නිලධාරීන්ට දෝශාරෝපණය කරන්නත් එපා. එක එක බොරු චෝදනා නොකළ වහාම ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් ඔබතුමන්ලාට කිසිම බාධාවක් නැහැ. ඔබලාට ඡන්දය දුන්න ජනතාවට අසාධාරණය කරන්න එපා. ඒ වැරදි කරලා තිබෙන නිලධාරීන්, දේශපාලඥයින් ඉන්නවා නම්, හිස් ෆයිල් බොරුවට තියාගෙන බොරුවට කිය කිය ඉන්නේ නැතිව වහාම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න කියලා ඉල්ලීම කරනවා” යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *