ඡන්ද අයිතිය උදුරා ගන්න අපි ඉඩ දෙන්නෙ නෑ : රංගේ බණ්ඩාරට එජපෙන් උත්තර

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු යැයි ඊයේ (28) එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජනරජ පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

අදාල නිවේදනය මගින් වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ මැතිවරණ කල් දැමීම ජනතාවගේ පරමාධිපත්‍ය බලය දරුණු ලෙස උල්ලංඝනය කිරීමක් බවය.

අදාල නිවේදනය පහලින්

එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධ එක්සත් ජනරජ පෙරමුණේ ස්ථාවරය
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගියදා ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රකාශය ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් ද, එසේත් නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ මතය ද, නොඑසේ නම් රංගේ බණ්ඩාර මහතාගේ පෞද්ගලික මතය දැයි අපි නොදනිමු. එහෙත් එම ප්‍රකාශය මගින් කෙරෙන යෝජනාව එක්සත් ජනරජ පෙරමුණ වන අප, පක්ෂයක් ලෙස තරයේ ප්‍රතික්ෂේප කරමු.
කෙසේවෙතත්, පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් සිදු කරන ලද ඉහත ප්‍රකාශය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තවත් වසර දෙකකින් දිගු කරගැනීම අරමුණු කරගෙන කළ ප්‍රකාශයක් බව පැහැදිලිය. ව්‍යවස්ථානුකූලව නිසි වේලාවට මැතිවරණ නොපවත්වා එම මැතිවරණ කල් දමා, ජනමත විචාරණ පැවැත්වීමේ අමිහිරි ප්‍රතිපල සඳහා ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවේ ද, අතීතය උදාහරණ සපයයි. අනෙක් අතින් මෙසේ මැතිවරණ කල් දැමීම ජනතාවගේ පරමාධිපත්‍ය බලය දරුණු ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස ද, සැළකිය හැකිය.
එබැවින්, ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය ද, මහමැතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණ ද නිසි වේලාවේ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව පියවර ගනු ඇතැයි එක්සත් ජනරජ පෙරමුණ වශයෙන් අපි අපේක්ෂා කරමු.
කිසියම් හෝ බලවේගයක් රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගනිමින් ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව අනෙකුන් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමග එක්ව සටන් කිරීමට සිදුවන බව වගකිව යුතු දේශපාලන පක්ෂයක් ලෙස අපි ප්‍රකාශ කර සිටිමු.
බන්දුල චන්ද්‍රසේකර
ප්‍රධාන ලේකම්
එක්සත් ජනරජ පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *