අපේ තාත්තලාව ගෙනත් දෙන්න : රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා

රුසියානු හමුදාවේ කුලී හේවායන් ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයින් අද අඟහරුවාදා (29) කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

දැනට රුසියානු හමුදාවේ කුලී හේවායන් ලෙස එරට සිරවී සිටින තම ඥාතීන් ආපසු ගෙන්වා ගැනීම සඳහා කඩිනම් මැදිහත්වීමක් කරන ලෙස ඔවුන් විරෝධතාවයේ නිරත වෙමින් ඉල්ලා තිබේ.

විරෝධතාකරුවන්ගේ සහායට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩද ඊට ඒක්ව තිබිණි.

“ඕනෑම මොහොතක ඔවුන්ගේ ජීවිත නැතිවෙන්න පුළුවන්. අපිට මේ අයව ඉක්මනින්ම ලංකාවට ගෙන්වා ගන්න අවශ්‍යයි. මීට අමතරව, මේ අයගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ නිවාස සහ ඉඩම් උකස් කර රැකියාවට ගියේ. රුසියානු හමුදාවේ සේවය කරන පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයෙක් පැවසීය.

“අපේ තාත්තලා ව රවට්ටලා ඒ රටේ තනියම ඉන්නවා. ගොඩක් දෙනෙක් නිශ්ශබ්ද වෙලා ඉන්න නිසා ඒ අය තවම ඉන්නවාද කියලා අපි දන්නෙත් නැහැ. අනේ අපේ තාත්තලාව ආපහු ගෙනත් දෙන්න” යැයි ඒක් අයෙකුගේ දරුවකු පැවසීය.

මේ අතර විරෝධතා කණ්ඩායම රුසියානු තානාපති කාර්යාලයට සංදේශයක් භාර දුන් අතර පුද්ගලයන් කිහිප දෙනෙකුට රුසියානු තානාපතිවරයා හමුවීමට අවස්ථාව හිමිවිය.

මේ අතර රුසියානු – යුක්රේන යුද්ධය මධ්‍යයේ ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ නියෝජිත කණ්ඩායමක් රුසියාවට යැවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නියෝග නිකුත් කර ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පසුගිය මැයි 16 වැනිදා නිවේදනය කළේය.

රාජ්‍ය අමාත්‍යවරයාට අනුව, මෙම දූත පිරිසට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපතිවරයකු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළත්ය.

ජනාධිපති මාධ්‍ය අංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති ප්‍රකාශයකට අනුව රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සංගණනයක් සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් සිටී.

ඇතැම් ශ්‍රී ලාංකිකයන් සංචාරක වීසා මත රුසියාවට ඇතුළු වූ බව අනාවරණය වී තිබේ. ඒ අතර ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සේවය කළ විශ්‍රාමික හමුදා සාමාජිකයන් සැලකිය යුතු පිරිසක් ද වෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *