“විකෘති කාම ආශා ගැන දැනුවත් වෙමු .”

ලිංගිකත්වය සම්බන්ධයෙන් වැරදි මත වල එල්බ සිටීම සහ ඒ පිළිබඳව විවෘතව කථා නොකිරීම නිසා මෙරට සමාජය තුළ ගැටළු රාශියක් නිර්මාණය වී තිබේ. එම තත්ත්වයන් අවම කිරීම සඳහා අප සැවොම වඩා විවෘත භාවයකින් යුක්තව ලිංගිකත්වයට අදාල කාරණා සම්බන්ධව කථා කිරීම වටී. ඒ අනුව අපි මෙම ලිපිය ඔස්සේ විකෘති කාම ආශා පිළිබඳව විමසා බලමු.

විකෘති කාම ආශා (Paraphilia) යනු තමන් මෙන්ම අනෙකාත් වේදනාවට හා ලැජ්ජාවට පත් කරන ලිංගික අවශ්‍යතා, පෙළඹවීම්, මනඃකල්පිත ක්‍රියා ආදී අසාමාන්‍ය හැසිරීම් සහ චර්‍යාවන් ය. මේ තුළින් සමාජීය, වෘත්තිමය හෝ අනෙකුත් ඕනෑම අවස්ථාවක අසහනය හෝ විවිධ ගැටළුකාරී තත්ත්ව දෙපාර්ශවයටම බලපෑම් ඇති කරයි.

එබැවින් අපි ප්‍රධාන ලෙස හඳුනාගත හැකි විකෘති කාම ආශා වන් මොනවාද යන්න හඳුනා ගනිමු.

1. ප්‍රදර්ශන කාමුකත්වය (Exhibitionism )

තම ලිංගික අවයව අනෙකාට ප්‍රදර්ශනය කිරීමට ඇතිවන ආශාව හෝ අන් අයට පෙනෙන පරිදි ස්වයං වින්දනයේ හෝ ලිංගික ක්‍රියාවල යෙදීමට ඇතිවන ආශාව සහ චර්‍යාවන් නැවත නැවත ඇති වීම.

2. අර්චන කාමය ( Fetishism)

ලිංගික උත්තේජනය සඳහා මෙහිදී අජීවී වස්තුවක් භාවිතා කිරීම හෝ ලිංගිකමය නොවන ( පාදය වැනි) ශරීර කොටසක් කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් ඒ ඔස්සේ සිය ලිංගික තෘප්තිය ලබා ගැනීමට කටයුතු කිරීම. මෙහිදී අනෙකාට හානියක් කිරීම වුවද සිදුවිය හැකිය.

3. මාර්ජක කාමය ( Frotteurism )

අනෙකුත් පුද්ගලයන්ගේ (ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව) කැමැත්ත නොමැතිව ශරීරය ස්පර්ශ කිරීම , ඇතිල්ලීම හෝ නැවත නැවත එය සිදු කිරීමට ආශා කිරීම මෙහිදී සිදුවේ.

4. කෞමාර කාමය ( Pedophilia)

වැඩිවිය ඔඅත් නොවූ දරුවන් කෙරෙහි ඇති වන අසීමාන්තික ලිංගික ආකර්ෂණය හා ඔවුන්ව ලිංගික ක්‍රියා වෙනුවෙන් පොළඹවා ගැනීමට දැඩි උත්සහයක් ගැනීම.

5. ස්ව පීඩා කාමුකත්වය ( Sexual  Macochism)

තමන් විසින් හෝ අනෙකා විසින් තමන්ට වද හිංසා පැමිණවීම තුළින් ලිංගික ආස්වාදය අත්විඳීම සහ නැවත නැවත එම තත්ත්වයට පත් වීමේ දැඩි ආශාව මෙහිදී ඇතිවේ.

6.පරපීඩක කාමුකත්වය ( Sexual Sadism)

සිය ලිංගික ආශ්වාදය වෙනුවෙන් තමන්ගේ සහකරු හෝ සහකාරිය වද හිංසා වලට ලක් කිරීම මෙම විකෘති කාම ආශාවේ ලක්ෂණය වේ.

7. දර්ශනවාදක කාමුකත්වය ( Voyeurism)

වෙනත් අයෙකු ඇඳුම් මාරු කිරීම, නිර්වස්ත්‍රව සිටීම හෝ ලිංගික ක්‍රියාවේ යෙදෙන විට එය හොරෙන් බැලීම තුළින් ලිංගික ආස්වාදයක් ලැබීම මෙහිදී සිදුවේ.

මෙම සියලූම විකෘති කාම ආශාවන් නිසා බොහෝ දුරට අදාල පුද්ගලයා සහ ඊට නතු වන පාර්ශවය කායිකව, මානසිකව හා සාමාජීය වශයෙන් අපහසුතාවයට හා දැඩි පීඩනයකට පත් වේ. බොහෝ දුරට මේ නිසාම සිය සමාජ තත්ත්වය , නිලය, පවුලේ අභිමානය, ස්වයං අභිමානය පිරිහීම සිදුවේ. එසේම මේ සඳහා වින්දිත පාර්ශවයක් නිර්මාණය වීම තුළ තදබල මානසික හා කායික පීඩාවලට එම පාර්ශවයද ලක්වේ.

එම නිසා මෙවන් තත්ත්වයක් තමන්ට හෝ සමීපතමයෙකුට පවතී නම් මනෝ වෛද්‍යවරයෙකු හමුවීම, මනෝ ප්‍රතිකාර ලබා ගැනීම අනිවාරෙන්ම සිදුකළ යුතුය. ඒ ඔස්සේ ඔබටත් සමාජයටත් යහපතක් සේම ඔබේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *