පිරිමින්ට අභියෝග කරන ලිංගාබාධ

ලිංගික සෞඛ්‍ය යනු පුද්ගලයෙකුගේ සෞඛ්‍ය හා සම්බන්ධ උප ප්‍රධාන කොටසක් ලෙස හඳුන්වනු ලබයි. ලිංගිකත්වය යනු හුදෙක් ඒකපාර්ශවික ආශ්වාදයක් නොවේ. එබැවින් ලිංගික කටයුත්තක් සඳහා යොමු වීමේදී ධනාත්මක සහ ගෞරවනීය ප්‍රවේශයක් ලබාගත යුතු අතර එමඟින් බලහත්කාරය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර වූ ආරක්ෂිත හා ප්‍රසන්න ලිංගික අත්දැකීමක් දෙදෙනාටම හිමි වනු ඇත.

මෙවන් ප්‍රසන්න සහ ආරක්ෂාකාරී ලිංගික කටයුත්තක් සඳහා යොමුවීමේදී ඒ සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාකාරී තත්ත්වයක් ලෙස ලිංගික ආබාධ (Sexual Disorders) හැඳින්විය හැකිය. මෙම ලිංගික ආබාධ ස්ත්‍රී සහ පුරුෂ යන දෙපාර්ශවයටම පොදු වූවක් වන අතර පුරුෂයින්ට ඇතිවන ලිංගික ආබාධ සම්බන්ධව මෙම ලිපියේදී අවධානය යොමු කරනු ලබයි.

ලිංගික ආබාධ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට ප්‍රථම සාමාන්‍ය ලිංගික ක්‍රියාවලිය සම්බන්ධව දැනගත යුතුය. එය පියවර හතරකින් සරලව දැක්විය හැකිය.

●ලිංගික කටයුත්ත සඳහා  කැමැත්ත ඇතිවීම. ( Desire).
●ලිංගිකව අවදිමත් වන / උත්තේජනය වන අවදිය. ( Arousal)
●උපරිම ලිංගික ආශ්වාදයක් ලැබීම / සුරාන්තයට පත්වීම. ( Orgasm)
●පුද්ගලයා යථා තත්ත්වයට පත්වීම. ( Resolution )

ඉහත දක්වා ඇති ආකාරයට සාමාන්‍ය ලිංගික ක්‍රියාවලියක් සිදුවන අතර ඒ සඳහා නියමිත කාලයක් නොමැත. තවද මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ස්ත්‍රී පුරුෂ ස්වභාවය මතද එය වෙනස් වේ. උදාහරණ ලෙස පුරුෂයෙකුට සාපේක්ෂව කාන්තාවකට ලිංගික උත්තේජනය හා සුරාන්තයට පත්වීමට වැඩි වේලාවක් ගත වන අතර එක් චක්‍රයකදී පුරුෂයෙකුට එක වරක් පමණක් සුරාන්තයට පත්විය හැකි වුවද කාන්තාවකට එක් ලිංගික චක්‍රයකදී කිහිපවරක් සුරාන්තයට පත්විය හැකිය.

ලිංගික ආබාධයක් ඇති කාන්තාවකට හෝ පුරුෂයෙකුට ලිංගික ක්‍රියාවලියේ ඕනෑම අවස්ථාවකදී ගැටළුකාරී තත්ත්වයක් පැන නැඟීම සිදු විය හැකිය. එබැවින් දෙදෙනාටම හෝ අදාල පාර්ශවයට සාර්ථක ලිංගික තෘප්තියක් කරා එළඹීමට නොහැකි වේ.

ඒ අනුව පුරුෂයින්ට ඇති වන ලිංගික ආබාධ, ආකාර කිහිපයකට වර්ග කළ හැකිය.
●Desire Disorders – ලිංගික එක්වීමක් සඳහා ආශාවක් ඇති නොවීමේ ස්වභාවය.
●Arousal Disorders – ලිංගික කටයුත්ත සඳහා කැමැත්ත පැවතියද උත්තේජනය වීම සම්බන්ධව ගැටළු ඇතිවීමේ ස්වභාවය .
●Orgasm Disorders – සුරාන්තයට පත්වීමේ ගැටළු ඇතිවීමේ ස්වභාවය .
●Pain Disorders- ලිංගික ක්‍රියාව සිදු කිරීමට නොහැකි තරමටම ඇතිවන වේදනා ආබාධ.

මෙම කාණ්ඩ යටතේ පුරුෂයින්ට ඇතිවිය හැකි ලිංගික ආබාධ ලෙස,
●ක්ෂණික මෝචනය – Premature Ejaculation
●මෝචනය ප්‍රමාද වීම හෝ මෝචනය නොවීම – Delayed Ejaculation or Retarted Ejaculation.
●පුරුෂ ලිංගය අප්‍රාණික වීම – Impotence.
●ශිෂ්ණය ප්‍රාණවත් වීමේ ගැටළු – Erectile Dysfunction .

මෙම ලිංගික ආබාධ ඇති වීම සඳහා බලපානු ලබන ප්‍රධාන සාධක , කායික සාධක සහ මානසික සාධක ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

එහිදී කායික හේතූන් ලෙස දියවැඩියා තත්ත්ව, හෘද සහ කිරීටක ආබාධ, ස්නායු ආබාධ, හෝමෝන අසමතුලිතවීම්, පිළිකා, මත්ද්‍රව්‍ය සඳහා වන ඇබ්බැහිවීම්, වකුගඩු සහ අක්මා ආබාධ උදාහරණ ලෙස ගත හැකිය.

මනෝවිද්‍යාත්මක සාධක ලෙස ක්ලමථ සහ කාංසා ආබාධ, දෙදෙනා අතර පවත්නා සබඳතාවයේ දුර්වලතා, විෂාධය, වරදකාරී හැඟීම්, කුඩා කාලයේ ලද ලිංගික කම්පන හෝ ලිංගික අපයෝජන සඳහා මුහුණ දී තිබීම, අධික නීති රීති පද්ධතියක් යටතේ හැදී වැඩී තිබීම උදාහරණ ලෙස ගත හැකිය.

මෙම තත්ත්වයන් නිසා ඔබ පීඩා විඳිනු ලබයි නම් නොඑසේනම් ඔබේ සමීපතමයෙකු පීඩා විඳියි නම් එමඟින් සහයක් ලබාගත හැකි ආකාරය ගැන දැනුවත් වීමද වැදගත්‍ වේ. ඒ සඳහා
●වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම – Medication.
●යාන්ත්‍රික ආධාර ලබා ගැනීම – Mechanical Aids.
●ලිංගික චිකිත්සාවට යොමු වීම – Sex Therapy.
●චර්‍යා ප්‍රතිකාර – behavioral Treatments.
●මනෝප්‍රතිකාර – Psychotherapy .
●මනෝඋපදේශනය – Counselling
●පුද්ගලයාව දැනුවත් කිරීම හා සන්නිවේදනය – Education and Communication .
යන උපකාරක ප්‍රවේශයන් කරා යොමු වී සාර්ථක ලිංගික ජීවිතයක් ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. ඒ නිසා නොපැකිළිව අදාල පාර්ශව වෙත යොමු වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *