මංගල තරගයේදී මිලාන්ගෙන් අගනා ඉනිමක්

එංගලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ මිලාන් රත්නායක වසර 41ක් පැරණි වාර්තාවක් බිඳ හෙළමින් ටෙස්ට් ක්‍රිකට් පිටියේ අංක 9 ස්ථානයේ පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළේය.

තවමත් 28 හැවිරිදි වියේ පසුවන මිලාන් 1983 වසරේ හයිද්‍රාබාද්හිදී පාකිස්තානයට එරෙහිව ලකුණු 71ක් රැස්කරමින් ඉන්දියාවේ බල්වින්දර් සන්දු විසින් පිහිටුවා තිබූ වාර්තාව අභිබවා යමිනි.

එංගලන්ත පන්දු යවන්නන්,ලකුණු 113/7 ශ්‍රී ලංකා ඉනිම සීමා කරද්දී අංක 9 ස්ථානයේ රැඳී සිටිමින් පන්දුවට පහර දුන් අතර ඔහු පන්දු 135 කදී ලකුණු 72 ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිල ලකුණු 236 ක් දක්වා ඉදිරියට රැගෙන ඒ්මට සමත්විය.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය පළමු දිනය නිමාවන විට කිසිවෙක් නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 22කි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ නිෂාන් මධුෂ්ක ඉනිම ආරම්භ කළේ ය.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 6කට සීමා කරමින් දිමුත් දැවී ගියේ ලකුණු 2කටය.

අසාර්ථක මුල් පෙළ පිතිහරඹය සමග ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුළු 5 ලකුණු 72ක් තුළ බිද වැටුණි.

කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ නායක ධනංජය ද සිල්වා සහ නවක ක්‍රීඩක මිලාන් රත්නායක 8වැනි කඩුල්ලට එක් කළ සබදතාවය ලකුණු 63කි.

ධනංජය ද සිල්වා 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය සමග ලකුණු 74ක් රැස් කළේ ය.

අත්දැකීම් බහුල පිතිකරුවන් අඩු ලකුණුවලට දැවී යද්දී තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මිලාන් රත්නායක මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරන ලදි.

මිලාන් සහ විශ්ව ප්‍රනාන්දු අතර නවවැනි කඩුල්ලේ සබදතාවය ලකුණු 50කි.

නායකයාට පමණක් දෙවැනි වූ ඉනිමක් ක්‍රීඩා කළ මිලාන් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 72ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 236කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *