කසාද බැන්දත් පරණ පුරුදු අතහරින්න එපා

මිනිසාට සිය ජීවිතය නියමාකාරයෙන් පවත්වා ගෙන යාම සඳහා ආහාර, නින්ද, බියෙන් සැකෙන් තොරව විසීම සහ මෛථුන්‍ය යන මූලික අවශ්‍යතාවයන් බෙහෙවින්ම වැදගත් වන බව හඳුනාගෙන ඇත. ඒ අනුව මනුෂ්‍යයින්ට ලිංගික අවශ්‍යතාවය, ආහාර, නින්ද සහ නිවාස තරම්ම වැදගත් බව පැහැදිලි ය.

බිළිඳෙකු ලෙස උපදින මනුෂ්‍යයින් ළදරු වියෙන් යොවුන් විය කරා එළඹීමත් සමඟම සිදුවන ශාරීරික හා මානසික වෙනස්වීම් තුළින් විශේෂයෙන්ම ලිංගික පරිණතභාවයක් ඇති කරනු ලබනවා. ඒ නිසාම නව යොවුන් වියට එළඹෙන දරුවන් ලිංගිකත්වය ගැන විවිධ ගවේෂණ කරන්න පෙළඹීම සාමාන්‍යයයි. එහි ප්‍රතිඵලයක් විදියට ඔවුන් ස්වයං වින්දනයේ යෙදී ලිංගික සතුටක් ලබාගන්න පෙළඹෙනවා. මෙම පෙළඹීම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සිදුවන්නක්.

ස්වයං වින්දනය කියන්නේ, ලිංගික අවයව ස්පර්ශ කිරීම මඟින් ලිංගික තෘප්තිමත් භාවයක් ලබා ගැනීම. ඒ වගේම ස්වයං වින්දනය කියන්නේ මේ වන විට ලෝකයේ ඇති ලිංගික සතුටක් ලබාගත හැකි ආරක්ෂාකාරීම හා විශ්වාසවන්තම ක්‍රමයක්.

ලිංගික සතුටක් ලබා ගැනීමේ අභිමථාර්ථයට අමතරව තනිකම පාලුව මකාගැනීමට හා එම තත්වයෙන් බැහැර වීමට, මානසික හා කායික පීඩනය නිදහස් කිරීමට, සහකාරිය හෝ සහකරු සමඟ උපරිම ලිංගික තෘප්තියක් ලබා ගැනීමට නොහැකි අවස්ථා වල ස්වයං වින්දනයේ යෙදීම සිදුකරනු ලබනවා.

ස්වයං වින්දනයේ යෙදීම සම්බන්ධව දුර්මත / මිථ්‍යා මත බොහෝමයක් වර්තමාන සමාජයේ තිබෙනවා.

ස්වයං වින්දනයේ යෙදීම නිසා,

  • නිසා ඇඟ කෙට්ටු වෙනවද ?
  • ශරීර වර්ධනය බාල වෙනවද ?
  • කාලයත් සමඟ ලිංගික අප්‍රාණිකත්වය ඇතිවෙනවාද ?
  • ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙනවාද ?
  • ශිෂ්ණයේ ප්‍රමාණය වෙනස් වෙනවාද ?

ඒ වගේම,

  • කාන්තාවන්ට ස්වයං වින්දනයේ යෙදීම සුදුසුයිද ?
  • විවාහයෙන්න් පසු ස්වයං වින්දනයේ යෙදෙන්න අව්ශ්‍ය නැතිද?

ආදී වශයෙන් මිථ්‍යා මත නොඑසේනම් කිසිඳු විද්‍යාත්මක පදනමක් රහිත මත සමාජයේ කොතෙකුත් තිබෙනවා.

ස්වයං වින්දනයේ යෙදීම නිසා ඇඟ කෙට්ටු වීම, වර්ධනය බාල වීම, ශිෂ්ණයේ හෝ ලිංගික අවයව වල ප්‍රමාණය වෙනස් වීම, ශුක්‍රාණු හෝ ඩිම්බ නිෂ්පාදනයේ වෙනසක් වීම ආදී කිසිවක් සිදු නොවේ. ස්වයං වින්දනය යනු හුදෙක් ලිංගික අවයව ස්පර්ශයෙන් ලබා ගන්නා සුරතාන්තයයි. නමුත් පුද්ගලයෙකු අසාමාන්‍ය වශයෙන් ස්වයං වින්දනයේ යෙදෙනවා නම්, ඔහු හෝ ඇය සිය එදිනෙදා කටයුතු වලට පවා බාධා වන අයුරින් ස්වයං වින්දනයට ඇබ්බැහි වී ඇති නම් යම් යම් කායික, මානසික හා සාමාජීය වශයෙන් බලපෑම් ඇති වන්න පුලුවන්.

උදාහරණ ලෙස ඔබ උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයකු නම් මුලු රාත්‍රිය පුරාම හෝ දවස පුරාම ස්වයං වින්දනයේ යෙදීම නිසා ඔබේ අධ්‍යාපනික කටයුතු වලට බාධා වීම, රාත්‍රිය පුරා නිදි වැරීම නිසා කායික ගැටලු මතු වීම ආදී බලපෑම් වෙන්නට පුලුවන්.

ස්වයං වින්දනය විවාහක යුවලකට කිසිඳු බාධාවකින් තොරව අත්විඳිය හැකි අත්දැකීමක්. දෙදෙනාටඋපරිම ලිංගික තෘප්තිය ලබා ගත නොහැකි අවස්ථාවලදි, බිරිඳ හෝ ස්වාමිපුරුෂයා සිදුසු කායික මානසික සූදානමක් නොමැතිව සිටින විට වැනි අවස්ථා වලදී ඔබට අවශ්‍ය ලිංගික තෘප්තිමත් භාවය ස්වයං වින්දනයෙන් ලබා ගැනීමේ කිසිඳු ගැටලුවක් නැහැ.

ඒ වගේම කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදීමත් ඉතාම සාමාන්‍ය මනෝ කායික ක්‍රියාවලියක් වගේම අවශ්‍යතාවයක්. තමන්ට උපතින් උරුම වූ ලිංගික අවයව සම්බන්ධව තීරණ ගැනීමට ස්ත්‍රී පුරුෂ වීම, විවාහක අවිවාහක වීම ආදී කිසිඳු තත්වයක් අදාල කරගත යුතු නැහැ.

නමුත් අවධානය යොමු කළ යුතු විශේෂිත කරුණ වනුයේ එදිනෙදා කටයුතු වලට බාධා නොවන ලෙසා කායික වශයෙන් හානි සිදු කරන ක්‍රම හෝ උපකරණ භාවිතයෙන් තොරව ස්වයං වින්දනයේ යෙදිය යුතු වීමයි.

එසේම ඔබ මවක හෝ පියෙකු ලෙස නව යොවුන් වියේ සිටින ඔබේ දරුවාගේ මේ සම්බන්ධව දකින හැසිරීම් කිසි විටෙකත් තර්ජනාත්මකව වැළැක්වීම සිදු නොකළ යුතුය. මන්ද පසු කාලීනව ඔවුන්ට එය විවිධ අයුරින් බලපෑම් ඇති කළ හැකිය. ඔබ දෙමව්පියක් වශයෙන් සිදු කළ යුත්තේ ඉබේ තරුණ දුවට පුතාට ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාකාරී, විශ්වාසවන්ත පරිසරයක් නිර්මාණය කරදීම සහ අවශ්‍ය නිවැරදි ලිංගික සෞඛ්‍ය දැනුම ලබා දීමයි.

සබැඳි ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *